Thursday, April 25, 2024
Follow Us
වෛද්‍ය සාෆිට ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක්

කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටියදි අත්අඩංගුවට පත් වෛද්‍ය සියාබ්ඩීන් සාෆි මහතාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වෛද්‍යවරයා කර ඇත්තේ වර්ග සංහාරයක් බවත් රජය ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳවද සෑහීමකට පත්විය නොහැකි බවත් සොයා බැලීමට පත්කර ඇත්තේ ස්වාධීන කම්ටුවක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුවක් බවත් එම සංවිධානය පවසයි.

කුරුණෑගල වෛද්‍යවරයා විසින් කර ඇති ක්‍රියාව වර්ග සංහාරයක් ලෙස අර්ථකථනය කල හැකි බව අප සංවිධානයේ විශ්වාසයයි. එය කිසිසේත්ම සුලු කොට තැකිය හැකි කාරණයක් නොවන බව අප අවධාරණය කරමු.තවද රජය ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබදවද සෑහීමකට පත්විය නොහැක මන්දයත් ඒ පිළිබදව සොයා බැලීමට පත්කරන ලද්දේද ස්වාධීන කම්ටුවක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුවක් පමණි. එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමකි.

අපරාධ වැළැක්වීමේ හා දඬුවම් පැමිණවීම පිළිබඳ සම්මුතියේ දෙවන ව්‍යවස්ථාව දක්වන ආකාරයට යම් ජන වර්ගයක් ,ජාතියක් ,ආගමික කණ්ඩායමකට අයත් පිරිසක් මරා දැමීම, බරපතළ ලෙස ශාරීරික හා මානසික හානි සිදු කිරීම, හිතාමතාම ඔවුන්ගේ ජීවන තත්ත්වයට හානි කිරීම,ශාරීරික වශයෙන් දුබලතාවයට පත් කිරීම,උපත් පාලනය කිරීම, බලහත්කාරයෙන් ළමුන් එක් ජන කොට්ඨාශයකින් තවත් ජන කොට්ඨාශයකට මාරු කිරීමයි වර්ග සංහාරයයි. මෙහිදි එක් ජන කොට්ඨාශයක් යන්නෙහිදි මුළුමනින්ම ජන කොටස හෝ එහි කොටසක්ද සංහාරයට ලක් කිරිම අදහස් වේ.

මනුෂ්‍යන් උත්පත්තියෙන්ම යම් අයිතිවාසිකම් සමූහයකට උරුමකම් කියයි. එම අයිතිවාසිකම් අද වන විට ලෝකයේ විවිධ සම්මුති මඟින් තව දුරටත් සුරක්ෂිත කර තිබේ.නමුත් වර්ග ඝාතනය තුළින් මිනිසුන්ගේ ජීවිතයට ඇති අයිතිය, ජාතිකත්වයට ඇති අයිතිය, කෲර හා අමානුෂික වධ හිංසාවන්ට ලක් නොවි සිටිමේ අයිතිය ද බරපතළ ලෙස උල්ලංඝනය කරයි. අප සියල්ලෝම මනුෂ්‍යන් වශයෙන් උපත ලබා ඇත්තෙමු. ජාතිය,වර්ගය, ආගම, කුලය අනුව කිසිම අයෙක් වෙනස් කොට නොසැළකිය යුතුය.වර්ග සංහාරයේදී යම් ජන කොට්ඨාශයක ඉදිරි පැවැත්ම අහිමි කරනු ලබයි. ළමුන්ගේ ජීවිත පවා විනාශ කර දැමීම ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය, අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රඥප්තිය මඟින්ද බැහැර කර තිබේ. එම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සියළු රාජ්‍යයන් බැඳී සිටී.

තත්වය එසේ නම් අපට රජයෙන් ඇසීමට ඇත්තේ කුරුණෑගල වෛද්‍යවරයා සිදුවීම වර්ග සංහාරයක් නොවන්නේ කෙසේද? යන්නයි.

1948 අපරාධ සංහාරය වැලැක්වීම හා දඬුවම් පිළිබඳ සම්මුතියට අනුව ( convention on the prevention and punishment of the crime genocide )

ජන සංහාරය මනුෂ්‍යත්වයට එරෙහි වු අපරාධයක් ලෙස දක්වා තිබේ. එහි පළමු වගන්තිය මඟින් ජන සංහාරය යන්න යුධ සමයේ සිදු වුවත් සාමකාමි කාලයක සිදු වුවත් අන්තර්ජාතික නීතිය යටතේ අපරාධයක් බව දක්වා ඇත. එහි දෙවන වගන්තිය මඟින් දක්වා ඇති පරිදි එය ජාතියක, ජන වර්ගයක හෝ ආගමික කොට්ඨාශයක් වැනි ජන සමූහයක් හෝ කොටසක් විනාශ කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් විය යුතුය. මෙම සම්මුතිය 1951 සිට ක්‍රියාත්මකවේ.

වර්ග සංහාරය මනුෂ්‍යත්වයට එරෙහි වරදක් ලෙස ලෝකයම පිළිගෙන තිබියදී කුරුණෑගල වෛද්‍යවරයාගේ සිදුවීම සොයා බැලීම සදහා රජය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීම හාස්‍යජනක වේ. අනෙක් කාරණය වන්නේ මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිවරයා වීමය. ඔහු එම තනතුරෙන් ඉවත් කරන ලෙසටද අප ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කිරීමට බලා පොරොත්තු වෙමු.

කුරුණෑගල වෛද්‍යවරයා සම්බන්ධයෙන් රජය විසින් ගත් ක්‍රියාමාර්ග කිසිසේත්ම ප්‍රමාණවත් නොවන නිසා අප සංවිධානය විසින් මෙම සිදුවීම වර්ග සංහාරයක් ලෙස සළකා ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීමට තීරණය කර ඇත.

රංජිත් විතානගේ
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

(Lanka Lead News)