Wednesday, November 27, 2024
Follow Us
පාවෙන අවි ගබඩාවේ ඇත්ත කතාව

පුරා වසර හතරක තරම් දිගු කාලයක් තිස්සේ තවමත් නඩු පැවරීමක් හෝ නොමැතිව තොරතුරු වාර්තා (ඕ වාර්තා) මතම පදනම්ව දිගින් දිගටම ඇදි ඇදී යන “පාවෙන අවි ගබඩාව“ පිළිබඳ විමර්ශනවලට අදාළව වගකිව යුතු පාර්ශ්වයන්ගෙන්ම මේ වනවිට හෙළිදරව් වෙමින් ඇති ඇතැම් තොරතුරුවලින් පිළිබිඹු වන්නේ එයින් ඉහතින් සඳහන් කළ “රත්රන් අශ්වයන්” හා “ලැම්බෝගිනි” වැනිම වූ තවත් “සෙප්පඩ විජ්ජා”වක් බවය.

එනම් එකී “පාවෙන අවි ගබඩාවේ” තිබී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ පාලනය වෙමින් තිබූ, සියයට සියයක්ම කොටස් “රාජ්‍ය භාණ්ඩාගාරයටම හිමි වූ, රාජ්‍ය සමාගමක් වන “රක්නා ලංකා ආරක්ෂක ආයතනය” විසින් නීත්‍යනුකූලව මුහුදු ආරක්ෂක සේවා කටයුතු සඳහා නිකුත් කරනු ලැබ තිබූ අවි ආයුධ හා උණ්ඩ ප්‍රමාණයක් බැව් මේ වනවිට අනාවරණය වී ඇත.

ස්වයංක්‍රිය හා අර්ධ ස්වයංක්‍රිය අවි 816ක් හා වෙඩි උණ්ඩ ලක්ෂ 02කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ එම්.වී. ඇවන්ට් ගාර්ඩ් (M.V. Avant Garde);නෞකාව ගාලු මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගන්නා ලද බවට ලොව පුරා පුවත් පැතිර ගියේ 2015 ඔක්තෝබර් මස 6 වැනි දිනය.

2015 ඔක්තෝබර් මස 06 වැනි දින උදෑසන 9.15ට පමණ ගාලු මුහුදු සීමාවට නුදුරු අන්තර් ජාතික මුහුදු සීමාවේදී ඉහත කී නෞකාව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද බව මේ වනවිට අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමේදී ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කරනු ලබන අනුමැතිය අඩංගු ලිපිය එදින උදෑසන 9.30ට නිකුත් කිරීම සිදුව ඇත.

එම ලිපිය නිකුත් වීමට මිනිත්තු 15කට පෙරාතුව ජාත්‍යන්තර මුහුදු සීමාවේ නැංගුරම් ලා සිටි නෞකාව නීති විරෝධී ආකාරයෙන් අත්අඩංගුවට ගන්නා ලද බවද මේ වනවිට වගකිවයුතු පාර්ශ්ව විසින් පිළිගෙන ඇත.

අත්අඩංගුවට ගත් නෞකාව සඳහා ගාලු වරායට ඇතුළු වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ අනුමැතිය අඩංගු ලිපියේ පිටපතක් නාවික හමුදා මූලස්ථානයටත් ගාලු දක්ෂිණ නාවික කඳවුර වෙතටත් උදෑසන 9.30 වෙද්දීම යොමුව තිබුණද නෞකාව මුදාහැරීම වෙනුවට ගාල්ල නියෝජ්‍ය ආඥාපති කොමදෝරු හීනටිගල සිදුකොට ඇත්තේ දින 07ක් තිස්සේ නෞකාව රඳවා තබාගෙන අමාත්‍යාංශ ලියකියවිලිවල සඳහන් අංක හා ගිනිඅවිවල සඳහන් අංක ආදිය සසඳමින් කුමන හෝ වරදක් සොයා ගන්නට බවත් එහෙත් එම උත්සාහයද නිරර්ථක වූ බවත් හෙළිවිය.

අනතුරුව ඔහු පියවර ගෙන ඇත්තේ මෙම ක්‍රියාදාමයේ යම් නීතියට පටහැනි බවක් පවතින්නේදැයි වැඩිදුරටත් විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බැව් පවසමින් පොලිසිය හරහා අධිකරණයට සිද්ධිය වාර්තා කිරීමටය.

ඒ අනුව 2015 ඔක්තෝබර් 14 දින බී. 44146 වාර්තාව මඟින් තොරතුරු දැනුම් දී ඇති අතර පොලිස්පති නියමයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.

2010 වර්ෂයේ සිටම “රක්නා ලංකා” සමාගම ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත මුහුදු ආරක්ෂක කටයුතුවල යෙදෙන සමාගම් 24ක් සමඟ ගිවිසුම් ගතව ගිනිඅවි සහ වෙඩි උණ්ඩ සැපයීම සිදුකරගෙන ගොස් ඇති අතර එකී කටයුතු කිසිවකදී “ඇවන්ට් ගාර්ඩ්” සමාගම සමඟ කිසිදු සබඳතාවක් පවත්වා නැත.

“ඇවන්ට් ගාර්ඩ්” සමාගම සමඟ “රක්නා ලංකා” සම්බන්ධ වන්නේ තම සමාගම විසින් මුහුදු ආරක්ෂක සමාගම්වලට නිකුත් කරන ලද ගිනිඅවි විශාල ප්‍රමාණයක් පාලනයකින් තොරව සංසරණය වීම ගැනත්, අවි 172ක් පමණ ඒ වනවිටත් අස්ථානගතව තිබීමත්, එලෙස අස්ථානගත වූ අවි අතරින් කිහිපයක් 2011 නොවැම්බර් මස පෝලන්ත බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබීමත්, ශ්‍රී ලංකා රජයට අයත් ගිනිඅවි පාලනයකින් තොරව සංසරණය වීම පිළිබඳව 2012 ජූලි 13 දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා රජයට වාර්තා කිරීමත් යන හේතූන් මත ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සහාය ඉල්ලා සිටීමත් සමඟය.

“ඇවන්ට් ගාර්ඩ්” සමාගම ඒ වනවිට තමා විසින්ම පිහිටුවා ගන්නා ලද “සෝමාලි” මුහුදු කොල්ලකරුවන්ගෙන් බහුදින ධීවර යාත්‍රා ඇතුළු නෞකාවන් ආරක්ෂා කරදීමේ” ආරක්ෂක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් සිටි අතර ඒ සඳහා “රක්නා ලංකා” සමාගමේ අවි ආයුධ යොදවා ගැනීම සඳහා පමණක් ගිවිසුම් ගතව සිටි අතර එම සබඳතාව මත ගිවිසුම්ගත වෙමින් රක්නා ලංකා සමාගමේ අවි ආයුධ ගබඩා කිරීම සඳහාද එම ආයුධවල සංසරණය පිළිබඳව නිති නිරීක්ෂණය සඳහාද තම සහාය ලබාදීමට එකඟ වෙයි.

එමෙන්ම අස්ථානගත වූ ආයුධ සොයාදීමටද භාරගන්නා අතර ඒ අනුව අස්ථානගතව තිබූ ආයුධ 172න් 158ක්ම තම වියදමින්ම සොයාදීමටද ක්‍රියා කරනු ලැබීය.

සෝමාලි මුහුදු කොල්ලකරුවන් මෙල්ල කිරීම හේතුවෙන් ඉමහත් ප්‍රසිද්ධියක් ඒ වනවිටත් ලබා සිටි “ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනය” නම් වූ සමාගම හා “රක්නා ලංකා ආරක්ෂක සමාගම” 2012 මාර්තු මස 19 වැනි දින අංක 322 දරන බද්ධ ව්‍යාපාර ගිවිසුම මඟින් ගිවිසුම් ගතව 2012 මැයි මස හා ඔක්තෝබර් මස පාවෙන අවි ගබඩා 02ක් රතු මුහුද හා ගල්ෆ් ඕෆ් ඕමාන් මුහුදු කලාපය තුළ ස්ථාපිත කිරීමටත්, ගොඩබිම ආශි්‍රතව අවිගාර 07ක් ස්ථාපිත කිරීමටත් පියවර ගන්නා ලද අතර ඒ සෑම ස්ථානයකම අවිවල භාරකාරත්වය දරන ලද්දේ “රක්නා ලංකා ආරක්ෂක ආයතනය” විසින් පත්කරන ලද විශ්‍රාමික කොමිෂන් ලත් නිලධාරීන් විසින්ය.

එකී සෑම අවි ගබඩාවක්ම පවත්වාගෙන යෑමේ පූර්ණ මූල්‍ය දායකත්වය “ඇවන්ට් ගාර්ඩ්” ආයතනය විසින්මය. එතරම් අති සාර්ථකවත් දේශීය මෙන්ම ජාත්‍යන්තරවද ඉමහත් ප්‍රසිද්ධියට මෙන්ම කීර්තියටත් පත්ව අති සාර්ථකව පවත්වා ගෙන ගිය ඇවන්ට් ගාර්ඩ් ආයතනය සම්බන්ධයෙන් 2015 බලයට පත් රජය විසින් ගෙනගිය අදූරදර්ශී ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵලයක් ලෙස එම ව්‍යාපාරය කඩා වැටීමකට ලක්වීම හේතුවෙන් රටට අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක්ද විශ්‍රාමයෙන් පසු විශ්‍රාම වැටුපක් ලබමින් සිටි රණවිරුවන් රැසකට ලැබුණු අති විශාල මුදල් ප්‍රමාණයක්ද අහිමිව ඇති බව පැහැදිලිය.

මෙම ඇවන්ට් ගාර්ඩ් විමර්ශනයන්හිදී සිදුවන ක්‍රියාදාමය තුළ නීතිපති දෙපාර්තමේන්තුවේ ජනක බණ්ඩාර නම් රජයේ නීතිඥවරයාගේ භූමිකාව පිළිබ¼දව නොකියාම නොහැකිය.

එහෙත් ඒ සඳහා වෙන්කරන්නට තරම් ප්‍රමාණවත් ඉඩකඩක් නොමැති හෙයින් ඔහුගේ භූමිකාව පිළිබඳව යමක් පහසුවෙන්ම වටහා ගන්නට හැකිවන පරිදි 2019 ජූලි මස 10 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති බී.ආර්.එස්.ආර්. නාගහවත්ත මහතා විසින් මෙම විමර්ශන හා නිර්දේශයන්ට අදාළව වැඩබලන පොලිස්පතිවරයාට යවන ලද පිටු 5කින් යුත් පේළි 150ක් තරම් වූ සවිස්තරාත්මක ලිපියෙහි අඩංගු ඡේදයක් දෙකක් පමණක් ගෙනහැර දක්වමු.

උපුටන (1)

“දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක මහතාට එල්ල වී ඇති චෝදනාවට පසුබිම වී ඇත්තේ අදාළ නැව ආයුධ සමඟ ගාල්ල වරාය වෙත රැගෙන ඒමටත් නැවේ තිබූ ආයුධ ගාල්ලේ පිහිටි “රක්නා ආරක්ෂක ලංකා ලිමිටඩ්” සමාගමේ ආයුධ ගබඩාවේ තැන්පත් කිරීමට අනුමැතිය ලබාදෙමින් ලිපියක් සිය අස්සනින් නිකුත් කිරීමෙන් කරන ලද නිල රාජකාරියක් සම්බන්ධයෙනි. කරන ලද විමර්ශනය අනුව ඒ සඳහා එවකට ආරක්ෂක ලේකම්වරයා ලිඛිතව අනුමැතිය ලබාදී ඇත. අනුමැතිය ලබාදුන් බව පිළිගනිමින් එවකට ආරක්ෂක ලේකම්ව සිටි ඉන්ජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විමර්ශනයේදී ප්‍රකාශයක් ලබාදී ද ඇත.

“ඒ මහතාගේ ප්‍රකාශය මඟින්, නාවික හමුදාව 2015-10-05 වන දින එනම් සමන් දිසානායක මහතා ප්‍රශ්නගත ලිපිය අස්සන් කිරීමට පෙරදින ප්‍රශ්නගත නෞකාව මුහුදේදී වටලා ඇති බව නාවික හමුදාපතිවරයා තමාට දැනුම් දුන් බව පිළිගෙන ඇත. ඒ අනුව 2015-10-06 දින අදාළ ලිපිය නිකුත් කිරීමට සමන් දිසානායක මහතාට අනුමැතිය ලබාදෙන විට අදාළ නෞකාව නාවික හමුදාව විසින් වටලා තිබී ඇති බවට දැනුමක් තිබී ඇත”

“සමන් දිසානායක මහතා සිදුකර ඇත්තේ එම අනුමැතියට යටත්ව ලේකම්වරයා වෙනුවට අදාළ ලිපියට අස්සන් කිරීම බව නිරීක්ෂණය වේ. එසේ තිබියදී ඊට අදාළව ඒ මහතාට පමණක් එරෙහිව වරදවල් සඳහා චෝදනා කිරීමේ හේතුව අපැහැදිලිය”

“යම් වරදක් හෝ චෝදනාවක් සම්බන්ධයෙන් යම් තැනැත්තකු අත්අඩංගුවට ගැනීමට නම්, වරද පිළිබඳව විමර්ශනය සිදුකළ නිලධාරියාට අත්අඩංගුවට ගැනීමට අපේක්ෂිත තැනැත්තා විසින් එකී වරද සිදුකළ බවට බැලූ බැල්මට පෙනෙන කරුණු ඇති බවට දැනීමක් තිබිය යුතු බව අත්අඩංගුවට ගැනීම්වලට අදාළව වරින්වර ශේ්‍රෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයන් මඟින් පැහැදිලි කරමින් තීන්දු ලබා දී ඇත. “

“නීතිපති දෙපාර්තමේන්තුව විසින් දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක මහතාට සහ ඩී.එම්.එස්. දමයන්ති ජයරත්න මහත්මියට එරෙහිව සඳහන් කර ඇති වරදවල් සම්බන්ධයෙන් බැලූ බැල්මට කරුණු විමර්ශනයේදී අනාවරණය වී ඇති බවක් නිරීක්ෂණය නොවේ.”

“එම තත්ත්වය මත නීතිපති දෙපාර්තමේන්තු උපදෙස් මත පිහිටා එම තැනැත්තන් විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී එම අත්අඩංගුවට ගැනීම යුක්ති - යුක්ත කිරීමට ඔවුන් සිදුකොට ඇති වැරදි සම්බන්ධයෙන් පැහැදිලි දැනීමක් විමර්ශන නිලධාරීන් හට නොමැති පසුබිම තුළ විමර්ශන නිලධාරීන් පමණක් නොව විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද අධිකරණයේ දෝෂදර්ශනයට ලක්වීමේ අවදානම බැහැර කළ නොහැකිය”

 

(Mawbima)