Sunday, July 13, 2025
Follow Us
යුගදනවී පෙත්සම විභාගයට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් වලින් 40% ක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට අගවිනිසුරුවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.

ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු බුවනෙක අළුවිහාරේ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු එල්.ටි.බි. දෙහිදෙණිය මහත්වරුන්ගේ සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නොවැම්බර් මස 29 දා සලකා බැලීමට නියමිතයි.

මේ අතර මෙම පෙත්සම් වලින් කැබිනට් මණ්ඩලයේ තීරණයක් අභියෝගයට ලක් කර ඇති අතර එම කැබිනට් මණ්ඩලය නියෝජනය කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් නීතිපතිවරයා මගින් නියෝජනය නොකර පුද්ගලික නීතිඥවරයෙකු මගින් නියෝජනය කිරීමට තීරණය කර ඇත. ඔවුන් තිදෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා පෙනී සිටීමට නියමිතය .

පෙත්සම් වලට තුඩු දී ඇති කාරණා ජාතික වැදගත් කමකින් යුත් කාරණා බැවින් විනිසුරුවරුන් පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් මේ වන විට මෙම බලාගාරයට අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත.

සමගි ජනබලවේගය වෙනුවෙන් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

කැබිනට් මණ්ඩලය ගෙන ඇති මෙම තීරණය හේතුවෙන් ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාළ අමෙරිකානු සමාගම වෙත පැවරෙන බව පෙත්සම්කරු පවසා සිටියි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස්වලින් සියයට 40ක් වගඋත්තරකාර අමෙරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවත් ඒ මගින් රටේ බලශක්ති සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ඇමරිකානු සමාගමකට හිමි වීමෙන් ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව අනතුරුදායක තත්ත්වයකට පත් කර ඇති බව පෙත්සම්කරු පවසා සිටියි.

අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වගඋත්තරකාර අමෙරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව බවත් එම කොටස් පැවරීමේ දී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බවද පෙත්සම්කරු චෝදනා කර සිටියි.

(Neth)