විමර්ශනයක් යද්දි විභාග කොමසාරිස් හොරෙන්ම කළ දේ
දෙදහස් දහඅට වසරේ පැවති උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගයේ දත්ත මැකීයාම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙමින් තිබෙන අතරතුර විභාග දෙපාර්තමේන්තුව ඉතාමත් රහසිගතව එම විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.
ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියක් නොමැතිව තිබියදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මෙම පියවර ගෙන ඇත්තේ විභාග පනත යටතේ තමන් වෙත පැවරී ඇති බලතල අනුවය. සාමාන්‍යයෙන් විභාගයක ප්‍රතිඵල නිකුත් කළ පසු ඒ බව අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ කර එම ප්‍රතිඵල දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කෙරේ. ප්‍රතිඵල නිකුත් කර දින තුනක් ගත වී ඇති නමුත් මේ දක්වා මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
මීට වසර තුනකට පෙර පැවැත්වූ මෙම විභාගයට සිසුන් එක්ලක්ෂ අසූ දහසක් පමණ පෙනී සිටි අතර විභාගය පැවතියේ මාර්ගගත ( online) ක්‍රමයටය. විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වූයේ ඊට පෙනී සිටි සිසුන් හැත්තෑ දහසකගේ පමණ ලකුණුවලට අදාළ දත්ත මැකී යාම හේතුවෙනි. දත්ත ගැටලුව තිබියදී ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමට කිහිපවරක් උත්සාහ කළද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඊට අනුමැතිය නුදුන්නේය.
දත්ත මැකී ගොස් තිබියදී එම සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් කළේ කෙසේද යන්න බරපතළ ගැටලුවක් බව එම දෙපාර්තමේන්තුවේ ම නිලධාරීහු පවසති. ප්‍රතිඵල නිකුත් කළ බව ප්‍රසිද්ධ කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු නොකරන්නේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් සැකයක් පවතින හෙයින් විය හැකි යැයිද ඔවුහු කියා සිටිති.
විභාගය වෙනුවෙන් රුපියල් දොළොස් කෝටි තිස් හයලක්ෂයක් වැය කර ඇති නමුත් ප්‍රතිඵල නිකුත් කිරීමට දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇතැයි විගණකාධීපතිවරයා විසින් පසුගිය වසරට අදාළව නිකුත් කළ වාර්ෂික වාර්තාවේද සඳහන් කර ඇත.
විභාගයට සම්බන්ධයෙන් වන විමර්ශනය පැවැත්වෙන බව අමාත්‍යාංශය පවසයි.
විභාග කොමසාරිස් ජෙනරාල්වරයා හෙට (26 වැනිදා) සේවයෙන් විශ්‍රාම යයි. ඔහුගේ විශ්‍රාම යාම අමාත්‍යාංශ ලේකම්වරයා අනුමත කර ඇත. 2018 වසරේ සිට මේ දක්වා මෙම විභාගය පැවැත්වූයේද නැත. මෙම විභාගයේ ප්‍රතිඵල නිකුත් කර නොමැති බව ‘අරුණ‘ අනාවරණය කළේ ඉකුත් 17 වැනිදා ය.
(Aruna)