ශ්‍රී ලංකා සංචාරක නාමයට කළු පැල්ලමක් ද ඇති කරමින් ශ්‍රී ලංකාවට පැමිණි ජර්මනියට අයත් ගුවන් යානයකට මෙරට ගුවන්තොටුපළ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ අපහසුතාව පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ගුවන් තොටුපළ බලධාරියෙකු සඳහන් කළේ එම සිද්ධියට බලපෑ හේතු සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සොයා බලන බවයි.
ගුවන් කලාපයේ පැවැති දැඩි අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ජර්මනියේ සිට මාලදිවයිනට මගීන් 226 දෙනෙකු සමඟ පැමිණි ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළට ඉකුත්දා හදිසියේ ගොඩබස්වා ඇති බවටයි වාර්තා වන්නේ. පසුව එම ගුවන් යානය නැවත පිටත්වීමට සූදානම්වූ අවස්ථාවේ නියමිත ගාස්තු ගෙවීම සඳහා පැයකටත් වැඩි කාලයක් ගත කිරීමට එම ගුවන් සමාගමේ නිලධාරීන්ට සිදුව තිබුණා. ඒ, ගුවන්තොටුපළේ තිබූ ක්‍රෙඩිට් කාර්ඩ් යන්ත්‍ර කිහිපයක් අක්‍රියවීම හේතුවෙන්.
මෙම සිද්ධිය වඩාත් කතාබහට ලක්ව ඇත්තේ මෙරට ගුවන් තොටුපළේ සිදුවූ දෝශයකින් අදාළ ජර්මන් ගුවන් යානයට වැඩිපුර කාලයක් මෙරට රැදී සිටීමට සිදුවූ කාලයටද ගුවන්තොටුපළ බළධාරීන් අමෙරිකානු ඩොලර් 48 ක ප්‍රමාද ගාස්තුවක් අයකර තිබීමයි. මේ පිළිබඳ කළ විමසීමකදී කටුනායක ගුවන් තොටුපළේ බලධාරියෙකු සඳහන් කළේ මෙම සිද්ධියට පාදක වූයේ ගුවන්තොටුපළ යන්ත්‍රවල දෝශයක්ද නැතහොත් අදාළ ගුවන් සමාගමේ ක්‍රෙඩිට් කාඩ්පතේ දෝශයක්දැයි සොයාබලන බවයි.
(Neth)