Friday, May 03, 2024
Follow Us
අර්ජුන් මහේන්ද්‍රන් ගැන නීතිපති අධිකරණයෙන් කළ ඉල්ලීම

මහ බැංකු බැඳුම්කර වංචා නඩුවේ විත්තිකරුවන් අතර අධිකරණය මඟහැර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුන්චිහේවා යන අය නොමැතිව නඩුව විභාගයට ගැනීමට නීතිපතිවරයා අද කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

උදර්පන නීතිය යටතේ මෙම විත්තිකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සදහා සිංගප්පූරු බලධාරීන් සහ මැලේසියානු බලධාරීන් සමග ගනුදෙනු සිදු වෙමින් පවතින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා පවසා සිටියා.

අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පූරුවේ වාසය කරන බවටත් අජහාන් ගාර්දිය පුන්චිහේවා නැමැත්තා දැනට මැලේසියාවේ වෙසෙන බවටත් තොරතුරු අනාවරණය වන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ දැනුම් දී සිටියා.

අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට පසුගිය 2019 වර්ෂයේ අගොස්තු මස 9 දා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

මෙම නඩුව අද මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අතර මෙම විත්තිකරුවන් දෙදෙනා නොමැතිව නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට සාක්ෂි මෙහෙයවීමෙක් අවශ්‍ය බැවින් නඩුව දෙසැම්බර් මස 3දාට කල් තබන ලදී.

බැදුම්කර සිද්ධියට අදාළව නීතිපතිවරයා මහාධිකරණයේ ගොනු කළ ප්‍රථම නඩුව මෙය වනවා.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම,එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන, අධ්‍යක්ෂවරුන් වු අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, පුශ්‍ය මිත්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුළුගල්ල, මුතු රාජා සුරේන්ද්‍රන්, අජහාන් ගාර්දිය පුන්චිහේවා යන අය නම් ඇත.

2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසිය තුළින් රුපියල් බිලියන 10.058 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යාපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම තුළින් පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය යටතේ වරදක් සිදු කිරීම නමැති චෝදනාව නීතිපතිවරයා විසින් මෙම නඩුවේ සියලුම විත්තිකරුවන්ට එල්ල කොට තිබේ.

එම වෙන්දේසියේ දී රුපියල් බිලියන 10.058 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර බැහැර කිරීමේ දී සාපරාධී විශ්වාසය කඩ කිරීම තුළින් රජයට රුපියල් මිලියන 688.7 ක පාඩුවක් සිදුකළේ යැයි කියමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි යන අයට විරුද්ධව තවත් චෝදනාවක් එල්ල කොට ඇත.

ඊට අමතරව අභ්‍යන්තර තොරතුරු භාවිතා කරමින් අදාල වෙන්දේසියේ දී ලංසු තැබීම සම්බන්ධයෙන් මෙම නඩුවේ තුන්වන විත්තිකරුවන් ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙත ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ 56 වන වගන්තිය යටතේ තවත් චෝදනාවක් ගොනු කර ඇත.

(Neth)