Thursday, September 25, 2025
Follow Us
පාදෙනියලාට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් - GMOA පාලනයට අතුරු කමිටුවක්

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුළු එම සංගමයේ නිළධාරීන්ට වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබෙනවා. වෛද්‍ය චමල් සංජීව මහතා විසින් ගොනුකර ඇති නඩුවක් කැඳවූ අවස්ථාවේදී මොරටුව දිසා අධිකරණය මෙම නියෝග දෙක නිකුත් කර තිබේ.

ඒ අනුව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ව්‍යවස්ථාව ප්‍රකාරව එම සංගමයේ කටයුතු පාලනය කිරීම සඳහා අතුරු පාලන කමිටුවක් පත් කරන ලෙස එක් නියෝගයක සඳහන් වේ. අදාල අතුරු කමිටුව පත් කිරීම සඳහා සංගමයේ මහා සභා රැස්වීමක් කැඳවිය යුතු බවත්, ඊට කිසිදු බාධාවක් එල්ල නොකළ යුතු බවත්, මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක මහතා නිකුත් කළ දෙවැනි වාරණ නියෝගයේ සඳහන් වේ.

අදාල අතුරු කමිටුව පත් කිරීමට අදාල කටයුතු සඳහා වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු පිිරිසට රජයේ වෛද්‍ය නිළධාරීන්‍ගේ සංගමයේ කාර්යාලට ඇතුළුවීමේදී බාධා සිදු ‍නොවිය යුතු බවද දිසා විනිසුරුවරයා නිකුත් කළ නියෝගයට ඇතුළත් වේ.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර නීතිඥයන් ප්‍රකාශ කළේ දින 14 ක කාලයක් සඳහා මෙම වාරණ නියෝග බලපැවැත්වෙන බවයි.

නිලවරණය නොපත්වා බලහත්කාරී ලෙස දිගින් දිගටම අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුළු නිළධාරී මණ්ඩලය අදාල තනතුරුවල සිටින බව පවසමින් චමල් සංජීව මහතා මෙම නඩුව ගොනුකර තිබේ.

(LNW)