Saturday, May 04, 2024
Follow Us
පාන්පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළට

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් වැඩි කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඒ, අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ඊයේ රාත්‍රියේ පැවති විශේෂ කැබිනට් මණ්ඩලයේදී පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ භාණ්ඩ අතරට තිරිඟු පිටිද අයත්. ගෑස්, කිරිපිටි සහ සිමෙන්තිවල පාලන මිල ඉවත් කිරීමටද එහිදී ඒකමතික අනුමැතිය හිමිවුණා. එහෙත් එම භාණ්ඩවල මිල ගණන් වැඩිවීම සම්බන්ධයෙන් අද පස්වරුවේ තීරණය කරන බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ පාලන මිල ඉවත් කළ භාණ්ඩවල මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් එහිදී කිසිදු සාකච්ඡාවක් නොවූ බවයි.

මේ අතර කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පැවසුවේ කිරිපිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 1,300 ක් දක්වාත්, ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 520 දක්වාත් ඉහළ නැංවිය යුතු බවයි.

ගෑස්, කිරිපිටි සහ සිමෙන්ති මිල වැඩි කිරීමට අනුමැතිය ලබාදි ඇත්තේ එම භාණ්ඩවල හිඟයක් ඇතිවීමේ අවදානම හේතුවෙන්.

(Neth)