Thursday, September 25, 2025
Follow Us
පාලන මිලට සුදු සීනිත් නැතිවෙයි - හිගය තවත් සති 02 ක්

වෙළඳපලේ සුදු සීනි හිගයක් මතුව තිබෙනවා. තොග වෙළඳසැල් වලින් සීනි ලබාදීම සීමා කර ඇති අතර මේ හේතුවෙන් වෙළඳපලේ සීනි අලෙවි කෙරෙන්නේ පාලන මිලට වඩා වැඩි මිලකට බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

තොග වෙළඳසැල් හිමියන් පවසන්නේ සීනි ආනයනකරුවන්ගෙන් තමන් වෙත සීනි තොග ලැබෙන්නේ පාලන මිලට වඩා වැඩි මිලකට බවයි. ඒ සම්බන්ධයෙන් තොග වෙළඳසැල් හිමියෙකු නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මෙලෙස අදහස් පළ කළා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්නගෙන් කරුණු විමසීමක් කළා.

ඔහු කියා සිටියේ සීනි ආනයනය සඳහා රජය මගින් පසුගිය සිකුරාදා සිට අවසර දීමෙන් පසු සීනි තොග ඇනවුම් කර ඇති බවයි.

එම ආනයනික සීනි තොග මෙරටට ලැබීමට සති 02 ක පමණ කාලයක් ගතවන බව ද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(NEth)