Thursday, September 25, 2025
Follow Us
රෝහල්වල ඔක්සිජන් සැපයුම් හදිසි බිඳවැටීමේ අවදානමක

මෙරට රෝහල්වලට ඔක්සිජන් සැපයීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවීමේ අවදානමක් පවතින බවට වාර්තා වනවා. ඒ, ඔක්සිජන් සපයන එක් සමාගමක් සිය සැපයුම් ලබාදීම ප්‍රතික්‍ෂේප කිරීමත් සමගයි. එම සමාගම පවසා ඇත්තේ මේ දක්වා කළ ඔක්සිජන් සැපයුම් වෙනුවෙන් රුපියල් මිලියන 200 කට අධික මුදලක් ලැබීමට නියමිත බවයි.

පෙරේදා දිනයේ අනුරාධපුර ශික්‍ෂණ රෝහල හා අනුබද්ධ මෙත්සිරි සෙවණ කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඔක්සිජන් සැපයුම හදිසියේ බිද වැටුණේද අදාළ සමාගම ඔක්සිජන් ලබා නොදීම හේතුවෙන්. කෙසේවෙතත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසන්නේ අදාළ සමාගමට ගෙවීමට පෙර රෝහල්වලට ලබාගත් ඔක්සිජන් වෙනුවෙන් තවත් ගෙවීම් සිදුකිරීමට ඇති බවයි.

අනුරාධපුර ශික්‍ෂණ රෝහල හා අනුබද්ධ මෙත්සිරි සෙවණ කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇති වූ සිද්ධියට සමාන තත්ත්වයක් ඉදිරියේදීද මතුවීමේ අවදානමක් පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

ඉකුත් සමයේ කොරෝනා තත්ත්වය උත්සන්න වූ අවස්ථාවේ ඉන්දියාවෙන් ඔක්සිජන් ගෙන්වීමට තීරණය කළද මේ වනවිට එම කටයුතු ද තාවකාලිකව නතර කර තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ රටේ පවතින ඔක්සිජන් අවශ්‍යතාව තරමක අඩුමට්ටමක පවතින බැවින් මේ වනවිට බරපතල තත්ත්වයක් මතුවීමේ අවදානමක් නොමැති බවයි.

(Neth)