Thursday, September 25, 2025
Follow Us
පාස්කු චූදිතයන්ට සිදුවන්න යන දේ

කතෝලික සභාව ගත් තීරණය


පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා උපදෙස් ලබා ගනිමින් සිටින බව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප්‍රකාශක කමිටු සභික සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ මෙන් ම ඒ පිළිබඳව පැවති පාර්ලිමේන්තු විවාදයේ කරුණුද මෙම නීතිමය කටයුතු සඳහා යොදා ගත හැකි බවත් පියතුමා සඳහන් කළේය.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ අගරදගුරු නිවසේ ඊයේ (29 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක දී ය.

ප්‍රහාරය මෙන් ම එම ප්‍රහාරය වළක්වා ගැනීමේ වගකීම පැහැර හැරීමත් අපරාධයක් බවත් කී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා එම වගකීම පැහැර හැර ඇති අයට එරෙහිව පාස්කු කොමිෂන් සභාවෙන් දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තිබෙන ගැටලුව කුමක්දැයි රජයෙන් මෙන් ම නීතිපතිවරයාගෙන් ද ප්‍රශ්න කරන බවත් සඳහන් කළේය. එම නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ නම් ඒ බව ප්‍රකාශයට පත් කළ යුතුව ඇතැයි ද පියතුමා පැවසීය.
ප්‍රහාරය පිළිබඳ සත්‍ය කරුණු අනාවරණය කර ගැනීම අත්‍යවශ්‍ය බව ද කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ නම් එය කොමිෂන් සභාවේ කටයුතු සඳහා වැය කළ විශාල මුදල අපතේ යාමක් බව ද උන්වහන්සේ කීහ. ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය රටට හෙළි වනතුරු ඊට එරෙහි අරගලය නොනවත්වන බවත් පියතුමා සඳහන් කළේය.

(Aruna)