සෞන්දර්යය විෂයන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීමකින් තොරව ඊයේ දිනයේ දී සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර සෞන්දර්ය විෂයන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පාසල් ආරම්භ කිරීමෙන් පසු පවත්වන බවට අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විට ප්‍රකාශ කර තිබෙන හෙයින් ඊට ප්‍රථම ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට විසඳුම දිය යුතුව ඇති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේය.
ඒ, අද (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.
එම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ගුරුවරු සහභාගී වීම අනිවාර්ය කාරණයක් වන හෙයින් එම පරීක්ෂණවලට පෙර මෙම වැටුප් ගැටලුව විසඳිය යුතු බවයි ස්ටාලින් මහතා අවධාරණය කළේ.
මෙම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ජාවක් ඉල්ලා තිබුණද ආණ්ඩුව තවදුරටත් එය මඟහරිමින් තිබෙන බවයි ඔහු පැවසුවේ.
ආණ්ඩුවේ හැසිරීම මෙලෙස නම් ඊට සෙසු වෘත්තීය සමිති සමඟද එක්ව පොදු විරෝධයක් හරහා පිළිතුරු දීමට සූදානම් බවද ඔහු සඳහන් කරන ලදී.
එමෙන්ම යළි පාසැල් විවෘත කිරීමට ප්‍රථමව ද මෙම වැටුප් ගැටලුව විසඳිය යුතු වන අතර එසේ නොවුණහොත් ගුරු විදුහල්පතිවරු පාසල් වෙත වාර්තා නොකිරීමට කටයුතු කරන අතර ඒ ගැන සාකච්ජා කර තීරණයක් ගන්නා බවයි ඔහු පැවසුවේ.
මෙම සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රමාද වූයේ ගුරු විදුහල්පති වැඩවර්ජනය නිසා බවට පසුගිය දිනවල රජයේ පාර්ශවයෙන් පැවසුවද මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබෙන නිවේදනයේ දැක්වෙන්නේ කොවිඩ් 19 තත්ත්වය මත ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රමාද වූ බවට වන අතර මෙතෙක් කල් ගුරුවරුන්ට එල්ල කළ චෝදනාව පසෙක තබා ඇත්ත පිළිගැනීම ගැන සතුටු වන බවද ස්ටාලින් මහතා කියා සිටියේය.
(LNW)