Wednesday, September 24, 2025
Follow Us
ඇරපු බාර් යළි වැසෙයි

ඇරපු බාර් වැහුවෙ නැත්නම් රටම අනතුරේ


නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක මෙම කාලසීමාවේ මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය වහාම අවලංගු කරන ලෙසත් අන්තර්ජාලය මගින් මත්පැන් අලෙවි කිරීම අත්හිටුවන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇත.

එම සංගමය විසින් මුදල් ඇමැතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත්තේ මෙම කාලසීමාවේ හදිසියේ සුරාසල් විවෘත කිරීම හේතුවෙන් විවිධ සෞඛ්‍ය, සමාජයීය හා ආර්ථික ගැටලු රැසක් උද්ගතවන බවයි.

‘නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට ප්‍රථම සුරාසල් විවෘත කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ජනතාව ඇඳිරිනීතිය උල්ලංඝනය කරමින් සුරාසල් අසල පොදිකන අතර එය කොවිඩ් 19 වසංගතය තවදුරටත් රටේ ව්‍යාප්ත වීමට හේතුවක් වේ. එසේම තමා සතු සුළු මුදල් ප්‍රමාණයක්ද වැයකරමින් ජනතාව මත්පැන් මිලදී ගැනීම හේතුවෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ළමා අපචාර මෙන්ම මාර්ග අනතුරුද ඉහළ යන බව පෙන්වා දිය හැකිය. එමෙන්ම මත්පැන් සඳහා වැයකරන මුදල මත්පැන් අලෙවියෙන් රැස්කරන ආදායම ඉක්මවන බවද ඔබ දැනුවත් යැයි සිතමු.’

මීට අමතරව අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවි කිරීම පැහැදිලිවම ජාතික දුම්කොළ හා මද්‍යසාර පනත උල්ලංඝනය කෙරෙන බවද පෙන්වා දිය යුතුය. මේ නිසා සුරාසල් විවෘත කිරීමට ගෙන ඇති තීරණය වහාම අවලංගු කිරීමත් අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවිකිරීම තහනම් කරන ලෙසත් ඉල්ලා සිටිමු.’ යැයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

(Aruna)