Wednesday, September 24, 2025
Follow Us
කොරෝනාවට බය නොවි ඉන්න පුලුවන් තත්ත්වයක් හැදෙයි

මහාචාර්ය නීලිකා කොවිඩ් අවසානය ගැන රටට සුබ ආරංචියක් කියයි


එන්නත්කරණය මගින් සමස්ත ජනගහණයේ ප්‍රතිශක්තීකරණය යම්කිසි මට්ටමකට පැමිණි පසු, කොවිඩ් කුමන ප්‍රභේදය රටට පැමිණියද එතරම් බිය විය යුතු නැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ(19) පැවැති වසංගතය නිමාවී ”වසන්තය එනවා සත්තයි” යන මැයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය එක්ව සංවිධානය කළ , රූපවාහිනී විශේෂ වැඩසටහනේ දී ය.

කොවිඩ් වසංගතයේදී දැනට පවතින ඩෙල්ටා ප්‍රභේදය ටිකෙන් ටික වෙනස්කම් වලට භාජනය වෙමින් නව ප්‍රභේද ඇතිවිය හැකි බව මෙහිදී මහාචාර්යවරිය පැවසූ අතර කුමන අලුත් ප්‍රභේදයක් පැමිණිය ද එයට විසදුම ලෙස ඉදිරියට යා හැක්කේ එන්නත්කරණය මගින් බව අවධාරණය කළේය.

1918 සහ 1919 වසර වල ඉන්ෆ්ලුවෙන්සා වෛරසය කෙතරම් ලෝකය පීඩාවට පත් කළාද කියනවා නම් ලොව පුරා මිලියන 50ක් පමණ ඉන් මිය ගිය බවද එය පළමු සහ දෙවන ලෝක යුද්ධ වලින් මිය ගිය ප්‍රමාණයට වඩා වැඩි බවද ඇය පෙන්වා දුන්නාය.

ඉන්ෆ්ලුවෙන්සාවට එන්නත්කරණයෙන් ප්‍රතිශක්තිකරණය ලබාදුන් පසු වසරින් වසර අද දක්වා ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙහි ප්‍රභේද වෙනස් වෙමින් වැළදුණද, 1918 සහ 1919 වසරවල තත්ත්වය දක්නට නැත්තේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සම්බන්ධව මිනිසා තුළ ප්‍රතිශක්තීකරණය සෑදී තිබීම බවද මහාචාර්ය නීලිකා මලවිගේ අවධාරණය කළේය.

(Aruna)