Wednesday, September 24, 2025
Follow Us
මෙරට ජනගහනයෙන් සියයට 50ක් එන්නත් මාත්‍රා දෙකම ලබා ගනී

දෙකෝටි දහ නව ලක්ෂ 19,413ක් වන මෙරට ජනගහනයෙන් සියයට 50කට මේ වන විට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඒ අනුව මේ වන විට එන්නත් දෙකම ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක් කෝටි නව ලක්ෂ 68,195 දෙනෙක් වනවා.

ඉන් වැඩිම පිරිස වන පුද්ගලයින් අසූ නව ලක්ෂ 73,670 දෙනෙකුට සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙක ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ.

ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව නව ලක්ෂ 49,105 දෙනෙක්. පුද්ගලයින් හත් ලක්ෂ 58,282 නෙකුට ලබා දී ඇත්තේ මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකයි. ෆයිසර් එන්නත් මාත්‍රා දෙකද මේ වන විට පුද්ගලයින් දෙලක්ෂ 43,685 දෙනෙකු ලබා ගෙන අවසන්. ස්පුට්නික් එන්නත් මාත්‍රා දෙකද පුද්ගලයින් 43,453 දෙනෙකු ලබා ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ.

මේ අතර චීනයෙන් මිලදී ගත් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් අද අළුයම දිවයිනට රැගෙනවිත් තිබුණා. අද දිනයේද දිවයිනේ ප්‍රදේශ රැසකදී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකයි.

(Neth)