Wednesday, September 24, 2025
Follow Us
කොවිඩ් අවදානම තවම පහව ගිහින් නැහැ. අපි තාමත් ඉන්නේ රතු කලාපයේ - SLMA

රටක් ලෙස ශ්‍රී ලංකාව තවමත් කොරෝනා අවදානමෙන් මිදී නැති අතර තවදුරටත් සිටින්නේ රතු කලාපයේ බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය (14) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ පවතින කොවිඩ් රැල්ල බැස්මකට නතුවෙමින් තිබෙන අවස්ථාවේ තවත් රැල්ලක් ඇති නොවීමට වග බලා ගැනීම වැදගත් බවයි.

තවදුරටත් දෛනිකව රෝගීන් 2000 කට වැඩි පිරිසක් මෙරටින් හඳුනා ගන්නා අතර එයින් හැඟෙන්නේ සමාජය තුළ ආසාදිතයින් 6000කට වැඩි දෙනෙක් සිටින බවත් මරණද දෛනිකව 150ක් පමණ වාර්තා වෙමින් තිබෙන බව යැයි ඇය සඳහන් කරන ලදී.

''මේ රැල්ලේ බැස්මකට නතුවන අවස්ථාවක අපිට ඉතාම වැදගත් තව රැල්ලක් එන එක වළක්වා ගැනීමට. අපි තාමත් රටක් විදිහට මේ අවදානම් තත්ත්වයෙන් එළියට ගිහිල්ල නැහැ. අපි දැනටත් 2000කට වඩා රෝගීන් ප්‍රමාණයක් දිනකට හඳුනාගන්නවා. ඒකෙන් අපි කියනවා සමාජයේ 6000කට වඩා රෝගීන් ඉන්නවා කියන එක. දැනටත් මරණ 150කට වඩා දිනකට සිද්ධ වෙනවා. ඒ එක්කම අපි දන්නවා අපේ මූලිකම තියෙන ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය. කොළඹින් පිටට ගිහිල්ලා ලංකාව පුරාම පැතිරිලා තියෙන ප්‍රභේදය. ඉතාම වේගයෙන් පැතිරෙන ප්‍රභේදය. මේ කරුණු කාරණා එක්ක බැලුවහම අපේ රට අවදානමෙන් බේරිලා කියන එක කොහෙත්ම කියන්න බැහැ. තාමත් ඉන්නේ රට රතු කලාපයේ. රෝහල් පද්ධතිය උතුර යාමේ අවදානමෙන් එළියට ඇවිල්ල නැහැ.''

එහෙයින් රජය මෙන්ම ජනතාව තීරණ ගත යුත්තේ වගකීම් සහගතව බව පද්මා ගුණරත්න මහත්මිය අවධාරණය කළාය.

(LNW)