Wednesday, September 24, 2025
Follow Us
කොළඹ එළිය කරමින් නව කැළණි පාලම ආලෝකමත් වෙයි

ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කරන ලෙස විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබා දී තිබේ.

අධිවේගී මාර්ග තුනක් යා කරමින් ඉදිකළ කේබල් පාලමේ වැඩ මේ වන ඉදිකිරීම්වලින් සියයට 99.5ක් අවසන් කර තිබෙන බවත් දිගින් මීටර් 380ක් පමණ වන මෙම ඉදිකිරීම් සඳහා බිලියන 9.8ක් පමණ වැය කර තිබෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අධිතාක්ෂණික කේබල් ආධාරයෙන් ඉදිකෙරෙන නව කැළණි පාලම ලබන මස අවසන් සතියේ විවාත කිරීමට නියමිත බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

කටුනායක අධිවේගී මාර්ගය, කොටුව අධිවේගී මාර්ගය සහ ඔරුගොඩවත්තේ සිට අතුරුගිරිය දක්වා ඉදි කෙරෙන අධිවේගී මාර්ග යා කරමින් මෙම මාර්ගය ඉදි කරයි.

මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහා විදුලි ආලෝකකරණය ඉවහල් වන බව අමාත්‍යවරයාගේ අදහසයි.

එම නිසා දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කර ඒවා අප රටට සුදුසු නම් එම ක්‍රමවේදයන් මේ නව කැළණි පාලම සදහා යොදා ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලබාදුන් උපදෙස් මත මේ වන විට නව කැළණි පාලමේ විදුලි ආලෝකකරණය කර තිබෙන අතර ඊයේ(13) දින එම විදුලි ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීමේ කටයුතු සිදු කර තිබේ.

(Aruna)