අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සදහා පනවා ඇති දැඩි සීමා හේතුවෙන් ඉදිරියේදී එම භාණ්ඩවල මිල ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් අනුමාන කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ දැනටමත් අදාළ භාණ්ඩ රැසක් මෙරටට ගෙන්වා ඇති බැවින් ඒවායේ මිල වැඩි කිරීමට ආනයනකරුවන් කටයුතු කරනු ඇති බවයි.
ඒ අනුව අත්‍යවශ්‍ය නොවන කාණ්ඩයේ භාණ්ඩ මිල ගණන් සම්බන්ධයෙන් නෙත් නිවුස් සොයා බැලීමක කළා. එහිදී දැකගත හැකිවූයේ අදාළ සීමා පනවා දිනක් යාමටත් මත්තෙන් ඇතැම් භාණ්ඩවල මිල ගණන් ඉහළ නංවා ඇති ආකාරයයි. ප්‍රධාන පෙළේ වෙළඳ සන්නාම ඇතුලත් ජංගම දුරකථන ඒ අතරින් ප්‍රධානයි.
මීට පෙර දෙලක්ෂ 50, 000 ත් දෙලක්ෂ 75, 000 ත් අතර මිලකට පැවති ඇතැම් දුරකථනවල මිල තුන් ලක්ෂ 50,000 සේ සීමාව ද ඉක්මවා ගොස් ඇති අයුරු මේ වන විටත් දැකගත හැකියි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධනගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ මෙම තත්ත්වය දීර්ඝකාලීනව සුබ තත්ත්වයක් නොවන බවයි.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී මුදල් අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ නව ආනයන සීමා හේතුවෙන් අදාළ භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි. ඩොලර් පිටරටට ගලායාම සීමා කිරීම මෙහි අරමුණ බවද ඔහු ප්‍රකාශ කළා.
මේවනවිටත් මෙරට ආනයන සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි මුදල් අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.
2019 දී අමෙරිකානු ඩොලර් මිලියන 247 යි දශම 3 ක් වූ මෙරටට ජංගම දුරකථන හා ස්ථාවර දුරකථන ආනයනය කිරීමට ගිය වියදම ඉකුත් වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 268 යි දශම 4 ක් දක්වා වැඩි වී තිබුණා. මෙම වසරේ පළමු මාස 7 තුළ පමණක් මෙරටට ජංගම දුරකථන හා ස්ථාවර දුරකථන ආනයනය කිරීමට වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 250 යි දශම 3 ක්.
වහාම ක්‍රියාත්මක වන පරිදි කාණ්ඩ 11 කට අයත් භාණ්ඩ 623 ක් ආනයනය කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත්දා තීරණය කළා. එම භාණ්ඩ අතරට ජංගම දුරකථන, ගෘහ විදුලි උපකරණ, ළදරු ඇඳුම් ඇතුලු ඇඳුම් පැළදුම්, පාවහන්, අත්ඔරලෝසු, අව් කණ්නාඩි මෙන්ම ඇපල්, මිදි, දොඩම්, වියළි පළතුරු සහ පළතුරු යුෂ මෙන්ම චොකලට්, චීස්, බටර් වැනි ද්‍රව්‍ය ද අයත්.
(Neth)