Wednesday, September 24, 2025
Follow Us
කොරෝනා හැදෙන්න අවදානම වැඩි අය මේ ගැන සැළකිලිමත්වන්න

කොරෝනා හමුවේ වැඩි අවදානයක් දියයුතු දෙයක් ගැන මහාචාර්යවරයෙක් පහදයි


මේ දිනවල දරුවන්ගේ ආහාර සම්බන්ධයෙන් දක්වන අවධානය වැඩිහිටි පුද්ගලයන්ගේ ආහාර සම්බන්ධයෙන් දැක්වීම අත්‍යවශ්‍ය බවත්, කොරෝනා වයිරසය ආසාදනය වීමට වැඩිම අවදානමක් ඇති මෙම පුද්ගලයන්ට පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීම ප්‍රතිශක්තිකරණය ඉහළ තබාගැනීමට වඩා වැදගත් වන බවත් කොළඹ වෛද්‍ය පීඨයේ පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය රනිල් ජයවර්ධන පැවසුවේය.

බොහෝ විට වැඩිහිටියන්ගේ ආහාර පිළිබඳව අවධානය දැක්වීම බොහෝ දෙනා අතපසු කරන බවත්, මෙරට වැඩිහිටියන්ගෙන් අති බහුතරයක්​ පෝෂ්‍යදායී ආහාරවේලක් ගැනීම පිළිබඳව එතරම් උනන්දුවක් නොදක්වන බවත් මහාචාර්යවරයා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ වැඩිහිටි ප්‍රජාව සරල කෑමබීම රටාවකට හුරු වී ඇති නිසා ඔවුන් එදිනෙදා ලබාගන්නා ප්‍රෝටීන ප්‍රමාණ සහ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණ මෙවැනි වසංගත තත්ත්වයක් පවතින විට කිසිසේත්ම ප්‍රතිශක්තිකරණය වැඩිවීමට සමත් නොවන බවය.

ආහාර සිරුරට උරාගැනීමේ හැකියාව තරුණ පිරිසට සාපේක්ෂව වැඩිහිටියන්ගේ පවතින්නේ අඩු මට්ටමක බවත්, විටමින් ‘බී’, විටමින් ‘බී 12’ ආදී විටමින් වර්ග වැඩිහිටියන්ගේ සිරුරට උරාගන්නා ප්‍රමාණය ඉතාමත් අඩු බවත් මහාචාර්ය රනිල් ජයවර්ධන පැවසීය.

මේ හේතුවෙන් දිනපතා ආහාර ලබාගන්නා ප්‍රධාන වේල් තුනට ප්‍රෝටීන් වැනි අත්‍යවශ්‍ය සංඝටක බහුල ආහාර ලබාදිය යුතු බවත්, අනිවාර්යයෙන් ඔවුන්ගේ ප්‍රධාන කෑමවේල් අතරතුර පලතුරු සහ කිරි අඩංගු ආහාර ලබාදීම අත්‍යවශ්‍ය බවත් ඔහු පැවසුවේය.

විටමින් ‘ඩී’ සහ කැල්සියම් ලබාගැනීම ද මේ දිනවල වැඩිහිටියන්ට තම ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වා ගැනීමට අවශ්‍ය වන බවද මෙම පිරිසේ ආහාර පිළිබඳ වඩාත් වැඩි අවධානයක් යොමුකරන ලෙසත් ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසීය.

(Aruna)