Wednesday, September 24, 2025
Follow Us
20ත් 29ත් අතර කාණ්ඩයට ෆයිසර් දීම අත්හිටුවන්න - GMOA සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලයි

ෆයිසර් එන්නත වයස අවුරුදු 20ත් 29ත් අතර පිරිසට නොව පාසල් දරුවන් සඳහා ලබා දෙන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඉල්ලා සිටියි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසන්නේ මේ වන විට වයස අවුරුදු 20ත් 29ත් අතර කාණ්ඩයට සයිනෝෆාම් එන්නත නිර්දේශ කර ඇති හෙයින් ෆයිසර් එන්නත් දරුවන් වෙනුවෙන් වෙන්කරන ලෙසයි.

''මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය CDC ආයතනය වැනි ආයතන නිර්දේශ කරලා තියෙනවා 12ත් 18ත් අතර දරුවන්ට ලබාදීමට සුදුසු එන්නත ෆයිසර් එන්නත බව. ඔක්තෝම්බර් මාසයේදී ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන හතරක් රටට ලැබෙන්න යනවා. අපි යෝජනා කළේ ඒ මිලියන හතර අවුරුදු 12ත් 18ත් අතර දරුවන්ට දෙන්න. පළමු හේතුව තමයි මේ වෙද්දී දරුවන්ට මේ රෝගය බෝවීම වැඩිවීමත් ඒවගේම සැලකිය යුතු මට්ටමක මරණ සංඛ්‍යාවක් වාර්තා වීමත්. දැනට පටන් අරන් තියෙන අවුරුදු 20ත් 29ත් අතර පිරිසට නිර්දේශිත එන්නතක් තමයි සයිනෝෆාම් එන්නත. ෆයිසර් එන්නත ඒ කාණ්ඩයට වෙන් නොකර ඒක පාසල් දරුවන් සඳහා වෙන්කරලා අවශ්‍යතාවක් තියෙනවා නම් ෆයිසර් වෙනුවට සයිනෝෆාම් එන්නත භාවිතා කරන්න කියල අපි ඉදිරිපත් කළා.'' යනුවෙන් සමන්ත ආනන්ද මහතා තවදුරටත් සඳහන් කරයි.

(LNW)