Monday, May 06, 2024
Follow Us
ඇමතිගේ ලිපියට කාදිනල් හිමිගෙන් පිළිතුරු - සාකච්ඡාවක් ඕනෑ නම් කොන්දේසි ඉටු කළ යුතුයි

පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ සාකච්ඡා කිරීමට හමුවීමට අවශ්‍ය නම් ඊට පෙර රජයේ පාර්ශ්වයෙන් කොන්දේසි කිහිපයක් ඉටුකළ යුතුයැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාට ලිඛිතව දැනුම් දී ඇති බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.

"කාදිනල් හිමිපාණන් මහාචාර්ය ජී. එල්. පීරිස් ඇමතිතුමාට පිළිතුරු ලිපියක් යවා තිබෙනවා. ඒ ලිපියෙන් කාදිනල් හිමිපාණන් කියා සිටින්නේ එසේ සාකච්ඡා කරන්නට, හමුවෙන්නට උන්වහන්සේ විවෘත බව. නමුත් ඒ සඳහා කොන්දේසි කිහිපයක් සම්පූර්ණ වියයුතු බව.

ඒ කොන්දේසි සම්පූර්ණ වෙනතුරු ඒ සාකච්ඡාවට කාදිනල් හිමිපාණන් ඉදිරිපත් වෙන්නෙ නෑ කියන එක උන්වහන්සේ පැහැදිලිව ඒ ලිපියෙන් කියා තිබෙනවා. මේ විශ්වසනීයත්වය ගොඩනඟන්නට නම් රජය මූලික වශයෙන්ම පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසාන වාර්තාවෙන් ඉදිරිපත් කරලා තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට අවශ්‍යයයි.

ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කියවුණු කරුණු, ඒ වගේම පොලිස්පතිතුමා කරපු ප්‍රකාශය, මෙවැනි ප්‍රකාශවල ඇතුළත් සමහර දේවල්වලින් ඒ විශ්වාසය ගොඩනැඟෙනවාට වඩා විශ්වාසය පළුදුවෙලා තිබෙනවා. අන්න ඒ නිසා මේ විශ්වාසය ගොඩනැඟීම රජයේ යුතුකමක් සහ වගකීමක් මේ විදියේ සාකච්ඡාවක් කිරීමට අවශ්‍ය නම්"

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සාකච්ඡාවක් ඉල්ලා විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා විසින් කාදිනල් හිමියන් වෙත යොමුකළ ලිපියට කාදිනල් හිමියන්ගේ ප්‍රතිචාරය පිළිබඳව ඊයේ (01) මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

(LNW)