වකුගඩු රෝගයෙන් පෙළෙන ඔබ කොරෝනා ආසාදනයට ලක්වීමට ඇති ඉඩ ඉතාමත් අධිකය. එසේම රෝගය උත්සන්න වීමටත්, මිය යාමටත් ඔබ වයසේ නිරෝගී කෙනෙක්ට මෙන් 10 ගුනයකටත් වැඩි අවදානමක් පවතියි.
ඔබ කල යුත්තේ කුමක්ද ?
- ප්‍රථමයෙන් කල යුත්තේ ආරක්ෂා වීමයි. දෑත් නිතර සේදීම්, මුව ආවරණයක් පැළඳීම, මීටර දෙකක දුරස්ථ භාවය ආරක්ෂා කිරීම හා සෙනග ගැවසෙන තැන් වල රැඳීම හැකි තරම් අවම කිරීමයි.
- ඔබ වකුගඩු බද්ධ කල අයෙක් හෝ රුධිර / පරිතාන කාන්දුකරණයේ (hemodialysis / peritoneal dialysis) යෙදෙන අයෙක් නම් මේ වන විට ඔබට එන්නත් මාත්‍රා දෙකම ලැබී තිබිය යුතුය. එසේ ලැබී නැත්නම් ඔබේ වෛද්‍යවරයා හමු වී ඒ ගැන සාකච්ඡා කරගන්න. කෝවිඩ් රෝගයෙන් මියයාමේ ඉහළම අවදානම ඇත්තේ ඔබටයි. ඒ නිසා එන්නත් ලබා ගත්තේ වුවත් ඉහත පරිදි අමාජ දුරස්ථ භාවය සුරැකීමට උත්සාහ කරන්න.
- ඔබ රුධිර කාන්දුකරණයට රෝහලට නිති පතා ගමන් ගන්නෙක් නම්, මුව ආවරනයක්, ෂීල්ඩ් එකක සහ අත් ආවරණ එම ප්‍රතිකාරය ලබා දෙන අවස්ථාවේ පළඳින්න. වෙනදා මෙන් නොව රුධිර කාන්දුකරණය අතර තුර ආහාර නොගෙන සිටීම කරනවා නම් වඩා හොඳය. එසේම අසල්වැසි රෝගීන් සමග මුඛරි ලෙස දෙඩවීමෙන් වළකින්න. ඔවුන් සමග ආහාර හා උපකරණ හුවමාරුවෙන් වලකින්න.
- ඔබේ ප්‍රතිකාරය අවසන් වූ පසු වහාම නිවෙසට යන්න. රෝගීන් රැස්වී සුහද සාකච්ඡා සහ විහිළු තහලු කිරීමෙන් වළකින්න
- නියමිත දිනට රුධිර කාන්දුකරණ ප්‍රතිකාරය සඳහා පමිණෙන්න. ඔබට ප්‍රවාහන දුෂ්කරතා ඇතොත් ඔබේ වෛද්‍යවරයා හා ඒ ගැන සාකච්ඡා කරගන්න. රුධිර කාන්දුකරණ දින පසුවී හුස්ම ගැනීමට අපහසු වී පමිණෙන ඔබත්, කෝවිඩ් රෝගියෙකුගේත් වෙනස අපට කිව නොහැක. ඒ සඳා කරන පරීක්ෂණ කෙරෙද්දී වටිනා කාලය මගහැරී ඔබ අනතුරට පත්වීමට ඉඩ ඇත.
- ඔබට ඇත්තේ සුළු හෝ මධ්‍ය තරමේ වකුගඩු රෝගයක් නම් ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එන්නත් සායනයෙන් හෝ හමුදාවෙන් පවත්වන සායන මගින් එන්නත් ලබා ගත හැකිය.
- ඔබට ඉක්මණටම ගත හැකි එන්නත හොඳම එන්නත බව සිහි තබාගන්න.
- සමහර රෝහල් වලින් ඔබේ ඖෂධ ගෙවල් වලට තැපෑලෙන් එවන නිසා අනවශ්‍ය ලෙස රෝහලට පැමිණීම අවශ්ය නොවේ.
- ඔබට ප්‍රතිශක්තිය හීන කරන ඖෂධ (ප්‍රෙඩ්නිසොලෝන්, ඇසතයෝප්‍රීන්, ටැක්‍රෝලිමස්, සයිලෝස්පෝරීන්, සයික්ලෝෆොස්පමයිඩ් හෝ MMF) ලබාදෙන්නේ නම්, ඔබේ අවදානම ඉතා අධිකය. ඔබේ වෛද්‍යවරයා හමුවී එන්නත් ලබා ගැනීම ගැන සාකච්ඡා කරගන්න.
"වකුගඩු රෝගීන් ලෙස ඔබේ අවදානම ඉතා අධික නිසා, වගකීම් සහගතව හැසිරෙන්න"
- වෛද්‍ය රංග වීරක්කොඩි
(LNW)