Tuesday, April 23, 2024
Follow Us
අපිව විගණනය කරන්න විගණකාධිපතිට ඉඩ දෙන්න එපා. ලිට්රෝ ගෑස් උසාවි නියෝගයක් ඉල්ලයි.

සම්පූර්ණ කොටස් ප්‍රමාණයෙන් 99.93%ක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට හිමිකම ඇති තම සමාගම විගණකාධිපතිවරයා විසින් විගණනය කිරීම වළක්වන ලෙස ඉල්ලා ලිට්රෝ ගෑස් සමාගම අභියාචනාධිකරණයේ නඩු පවරා ති⁣බේ. 286/21 දරණ රිට් පෙත්සම 2021.06.04 දින පවරමින් ලිට්රෝ ගෑස් සමාගම අධිකරණයෙන් ඉල්ලා සිටිනුයේ තමන්ගේ අන්තර්ජාතික මට්ටමේ විගණකවරුන් වන ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් යන ජාත්‍යන්තර ආයතනයට තම ආයතනය විගණනය කිරීම පැවරීමට සමාගම තීරණය කර ඇති බවත්, විගණකාධිපතිවරයාට තම සමාගම විගණනය කිරීමට අයිතියක් නොමැති බවත් ය. (අදාල පෙත්සම පහතින්.)

පසුගියදා සම්මත කරන ලද විසිවන සංශෝධනයට අනුව ලිට්රෝ සමාගම විගණකාධිපතිගේ විගණනයට යටත් නොවන බව එම සමාගමේ අදහස වී තිබේ.

සැප්තැම්බර් 21, දින CA WRT 287/21 සම්බන්ධිත නඩුව සමග අතුරුතහනම් නියෝග සදහා කරුණු තහවුරු කිරීමට කැඳවීමට නියමිතය.

මේ අතර ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සමයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පුද්ගලීකරණයට අදාලව එම සංස්ථාවේ දේපල ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් විසින් තක්සේරු කිරීමේදී අඩු ලංසුවකට තස්සේරු කර රජයට පාඩු සිදුකළ බවට කෝප් කමිටුව විසින් තීරණය කරන ලදි. ඉන්පසු එම සමාගම ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීම තහනම් කරමින් අසාධු ලේඛණගත(black list) කරන ලෙසටද කෝප් කමිටුව විසින් නිර්දේශ කර ඇත. ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් සමාගම විසින් මේ වනවිටත් ලිට්රෝ සමාගමේ විගණන කටයුතු සිදු කරනුයේ පිළිගත් සම්මත ක්‍රියාපිළිවෙත උල්ලංඝනය කරමින් වන බැවින් ඊට මැදිහත් වන ලෙස අදාල පාර්ශවයන් වෙතින් ඉල්ලා සිටීමට විගණන නිළධාරීන්ගේ සංගමය මේ වන විට පියවර ගනිමින් සිටී.

(Lanka Leads)