Thursday, April 25, 2024
Follow Us
හෙද-හෙදියන්ට කොවිඩ්

රෝහල්වල රෝගී සත්කාර සේවාවන් අඩාල වෙයි


හෙද හෙදියන් සැලකිය යුතු පිරිසකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමේ දුෂ්කරතා මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

හෙද හෙදියන් කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති නමුත් වයිරසය ආසාදනය වීම හේතුවෙන් රාජකාරීවලින් ඉවත්ව දින 14ක කාලයක් නිරෝධායනයට යොමු වන බැවින් රෝගී සත්කාර සේවාවන් සැලකිය යුතු ලෙස බිඳවැටීමකට ලක්ව ඇතැයි සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති එස්. මැදිවත්ත සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ පමණක් ඊයේ (28 වැනිදා) දිනය වන විට කොවිඩ් ආසාදිත හෙද හෙදියන් පනස් දෙදෙනකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.

හෙද හෙදියන් සිටිනුයේද ඉතා සීමිත සංඛ්‍යාවක් බැවින් ඔවුන්ගෙන් කොටසක් මෙසේ ආසාදිත තත්ත්වයට පත්ව රාජකාරීවලින් ඉවත්ව යාම රෝහල්හි ගැටලු ගණනාවකට හේතුවක් වී තිබේ.

සැලසුම් කළ සැත්කම්, රුධිර පරික්ෂාවන්, මුත්‍රා පරික්ෂාවන් සඳහා නියැදි එකතු කිරීම, එක්ස් කිරණ පරික්ෂාවන් සඳහා රෝගීන් සූදානම් කිරීම වැනි රෝගී සත්කාර සේවාවන් බිඳවැටෙමින් පවතින බව මැදිවත්ත මහතා අවධාරණය කරයි.
කොළඹ ජාතික රෝහලේ ඊයේ (28 වැනිදා) දහවල් වන විට කොවිඩ් ආසාදිත රෝගීහු 362ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටියහ. ඉන් වැඩිකොටසකට ඔක්සිජන් මත යැපීමට සිදුව ඇති බවද පැවසේ.

(Aruna)