Wednesday, April 24, 2024
Follow Us
දෙවන විස්සයි විස්ස තරගයේ ජය ශ්‍රී ලංකාවට

අවසන් වරට සහභාගි වූ විස්සයි විස්ස ක්‍රිකට් තරග 15කින් 13ක් පරාජය වී සිටියදී ජයග්‍රාහී මාවත කරා පිවිසි ශ්‍රී ලංකාව ඊයේ (28 වැනිදා) ආර්. ප්‍රේමදාස පිටියේදී ඉන්දියාව සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීය.


අදාළ ජයත් සමගින් දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 1-1ක් වශයෙන් සමතැන් ගැනීමටද ශ්‍රී ලංකාවට හැකි විය. ඒ අනුව දසුන් ශානක මෙතෙක් නායකත්වය දැරූ විස්සයි විස්ස තරග පහකින් ලද සිව්වැනි ජය වශයෙන් මෙය සටහන් විය.

ඉන්දීය ඉනිමට සාපේක්ෂව ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමේදී වැඩි වශයෙන් පන්දුව දඟ කැවීමක් දක්නට ලැබුණි. ලකුණු 133ක ඉලක්කය හඹායාමේදී අවසන් පන්දුවාර දෙකේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 20ක් අවශ්‍ය විය. එහිදී 19 වැනි පන්දුවාරයේ මුල් පන්දු දෙකට ලකුණු දෙකක් ලබා දෙමින් ශ්‍රී ලංකාව දෙසට පීඩනය එල්ල කිරීමට බුවනේෂ්වර් කුමාර් වගබලා ගත්තේය. නමුත් ෆුල්ටොස් පන්දුවක් ලෙසින් යොමු කළ තුන්වැනි පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් චාමික කරුණාරත්න විසින් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළ නැංවූයේය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට අවසන් පන්දුවාරයේදී ලකුණු 8ක් අවශ්‍ය විය. එය පන්දු 2ක් ඉතිරිව තිබියදී සපුරා ගනිමින් පිට පිට තරග පහක් පරාජය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව විස්සයි විස්ස ජයක් ලැබුවේය. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමේදී 7 වැනි කඩුල්ලට පන්දු 14කදී ලකුණු 28ක සබඳතාවයක් පිහිටුවීමට ධනංජය ද සිල්වා සහ චාමික කරුණාරත්නට (12) හැකි වූහ.

එහිදී එක් අන්තයක් රැක ගනිමින් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය දක්වා පිත්ත හැසිරවූ ධනංජය ද සිල්වා තරගයේ වීරයා බවට පත්වූයේය. ඔහු පන්දු 34කදී හයේ සහ හතරේ පහර එක බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 40ක් රැස් කළේය. ලකුණු 11ක් ලබා සිටියදී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ෆයින් ලෙග් දෙසට එල්ල කළ පහර හයේ සීමාව ආසන්නයේදී රාහුල් චහාර් විසින් විශිෂ්ඨ උඩ පන්දුවක් වශයෙන් රැක ගැනීමෙන් මුලු ලකුණු සංඛ්‍යාව 12ක් වන විට ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල දැවී ගියේය. චරිත් අසලංකගේ අඩුව පිරවීම සඳහා පිටියට පිවිසි සධීරගේ කඩුල්ලටම වරුන් චක්‍රවර්ති විසින් පන්දුව දඟ කැවීමෙන් ඔහුගේ ඉනිම ලකුණු 8කට සීමා විය. ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනියට වැඩිම ලකුණු ලාභියා වූ මිනෝද් භානුක පන්දු 31කදී ලකුණු 36ක් රැස්කර ගත්තේය.

පළමු තරගයේදී මෙන්ම මෙම තරගයේදීත් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. ඒ අවසරයෙන් පිටියට පිවිසි ඉන්දීය පිලේ මුලු ලකුණු සංඛ්‍යාව 49ක් වනවාත් සමගම ලකුණු 21ක් ලබා සිටි රුතුරාජ් ගයික්වාඩ් ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට ශ්‍රී ලංකා නායකයා වගබලා ගත්තේය.

පන්දුවාර 10ක් අවසන් වන විට ඉන්දීය ලකුණු පුවරුව දැක්වුණේ එක් කඩුල්ලක් දැවී ලකුණු 61ක් වශයෙනි. ඉන්දීය පිතිකරුවන්ට වේගවත් පිති ප්‍රහාරයකට අවස්ථාවක් නොදුන් ශ්‍රී ලංකා නායකයා පළමු පන්දුවාර 10 පන්දු යවන්නන් 8 දෙනෙකු යොදාගෙන යැවීම විශේෂ සිදුවීමක් විය. ඉන්දීය පිතිකරුවන් අතරින් තමන් මුහුණදුන් පන්දු සංඛ්‍යාවට වඩා ලකුණු රැස්කළ හැකිවූයේ දෙව්දත් පඩික්කාල්, රුතුරාජ් ගයික්වාඩ් සහ බුවනේෂ්වර් කුමාර්ට පමණි. පිළිවෙලින් ඔවුහු පන්දු 23කදී ලකුණු 29ක්, පන්දු 18කදී ලකුණු 21ක් සහ පන්දු 11කදී ලකුණු 13ක් වශයෙන් රැස්කර ගත්හ. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක ශිකර් ධවාන්ගේ කඩුල්ලට කෙලින්ම පන්දුව යොමුකරමින් ඔහු දවා ගැනීමට අකිල ධනංජය සමත් විය. ඒ වන විට පන්දු 42කට මුහුණ දී සිටි ධවාන් හතරේ පහර පහක් සමගින් ලකුණු 40ක් රැස්කරගෙන සිටියේය.

මෙතෙක් ඉතිහාසයේ විස්සයි විස්ස තරගයක පන්දුවාර 20ම ක්‍රීඩා කරමින් ඉන්දීය කණ්ඩායමක් වාර්තා කළ අඩුම හයේ සහ හතරේ පහර සංඛ්‍යාව ඊයේ තරගයේදී වාර්තා විය. එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් වාර්තා වී තිබුණේ හතරේ පහර 7ක් සහ හයේ පහරක් පමණි.

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යාට කොවිඩ් වයිරසය අසාදනය වීමත් සමග පෙරේදා (27 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබුණු මෙම තරගය ඊයේ (28 වැනිදා) දක්වා කල් තැබිණි. කෙසේ නමුත් ඊයේ (27 වැනිදා) කරන ලද පරීක්ෂණවල වාර්තා අනුව පාණ්ඩ්‍යා සමග සමීප සබඳතා පැවැත්වූ ක්‍රීඩකයින් 8 දෙනාට වයිරසය අසාදනය වී නොමැති බවට තහවුරු විය. අදාළ ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමත් සමගින් ඊයේ තරගයේදී ඉන්දියාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට රුතුරාජ් ගයික්වාඩ්, දෙව්දත් පඩික්කාල්, නිතීෂ් රාණා සහ චේතන් සකාරියාට හැකි වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු තරගය ක්‍රීඩා කළ ආබාධයකට ලක් වූ චරිත් අසලංක වෙනුවට සධීර සමරවික්‍රමත්, අශේන් බණ්ඩාර වෙනුවට එතෙක් විස්සයි විස්සයි ජාත්‍යන්තර වරම් ලබා නොතිබූ රමේෂ් මෙන්ඩිස්ටත් අවස්ථාව උදා විය. දෙරට අතර තුන්වැනි විස්සයි විස්ස තරගය අද (29 වැනිදා) රාත්‍රී 8.00ට ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.

ලකුණු සාරාංශය

ඉන්දියාව

පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 132 යි. (රුතුරාජ් ගයික්වාඩ් 21, ශිකර් ධවාන් 40, දෙව්දත් පඩික්කාල් 29, සංජු සැම්සන් 7, නිතීෂ් රාණා 09, බුවනේෂ්වර් කුමාර් (නොදැවී) 13, නව්දීප් සයිනි (නොදැවී) 1, දුෂ්මන්ත චමීර 4-0-23-1, චාමික කරුණාරත්න 1-0-6-0, අකිල ධනංජය 4-0-29-2, ඉසුරු උදාන 1-0-7-0, වනිඳු හසරංග 4-0-30-1, දසුන් ශානක 2-0-14-1, රමේෂ් මෙන්ඩිස් 2-0-9-0, ධනංජය ද සිල්වා 2-0-13-0)

ශ්‍රී ලංකාව

පන්දුවාර 19.4ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 133යි. (අවිශ්ක ප්‍රනාන්දු 11, මිනෝද් භානුක 36, සධීර සමරවික්‍රම 8, දසුන් ශානක 3, ධනංජය ද සිල්වා (නොදැවී) 40, වනිඳු හසරංග 15, රමේෂ් මෙන්ඩිස් 2, චාමික කරුණාරත්න (නොදැවී) 12, බුවනේෂ්වර් කුමාර් 4-0-21-1, චේතන් සකාරියා 3.4-0-34-1, වරුන් චක්‍රවර්ති 4-0-27-1, රාහුල් චාහර් 4-0-27-1, කුල්දීප් යාදෙව් 4-0-30-2

(Aruna)