Thursday, April 18, 2024
Follow Us
ගුරු වර්ජනය අඛණ්ඩව

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අද (27) පෙරවරුවේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත විසඳුම් නොලැබුණහොත් පළාත් හා දිස්ත‍්‍රික් මට්ටමින් උද්ඝෝෂණ මාලාවක් පවත්වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අගමැති මහින්ද රාජපක්ෂට ඊයේ (26 වැනිදා) ලිඛිතව දැනුම් දී ඇත.

ජාතික පාසල්වල සේවය කරන අනධ්‍යයන සේවකයන්ට හිමි වරප‍්‍රසාද පළාත් සභා පාසල්වල අනධ්‍යයන සේවකයන්ට අහිමි කර ඇති බව පවසන එම සංගමය අනධ්‍යයන සේවක තනතුරු අනුව ද දැඩි විෂමතාවක් පවතින බවත් පවසයි.

මෙම ගැටලු සම්බන්ධයෙන් මීට වසර අටක සිට ම ආණ්ඩුකාරවරුන්ට මෙන් ම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ලිඛිතව හා වාචිකව කරුණු ඉදිරිපත් කළත් කිසිදු ප‍්‍රතිඵලයක් ලැබී නොමැති බවත් ඒ සියල්ල බීරි අලින්ට වීණා වැයීමක් වූ බවත් එම සංගමය සිය ලිපියේ සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර කඩිනම් පියවර ගැනීමට නොගතහොත් තිස්දහසක් පමණ වන සියලු අනධ්‍යයන සේවකයන් සමග උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරන බවත් එම සංගමය අගමැතිවරයාට දන්වා ඇත.

(Aruna)