Thursday, March 28, 2024
Follow Us
නිශ්ශංක සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු අල්ලස් චෝදනාවලින් නිදහස්

ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අල්ලස් චෝදනා වලින් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියෝග කළේය.

රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙනුයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණේ.

නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් වෙනුවෙන් මීට පෙර මූලික විරෝධතාවක් මතුකළ ද එම විවෘත විරෝධතාවය මහාධිකරණ විනිසුරුවරිය විසින් ප්‍රතික්ෂේප කළ බවයි.

පසුව එම තීරණයට එරෙහිව තම සේවාදායකයින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත්කළ අතර එම ප්‍රතිශෝධන පෙත්සම පසුගිය 15 වනදා කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බව දැනුම්දුන් බව විත්තියේ නීතිඥවරයා තවදුරටත් අධිකරණය හමුවේ කරුණු දැක්වුයේය.

එම කොන්දේසියට යටත්ව තම සේවාදායකයින් අභියාචනාධිකරණය හමුවේ පැවති ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගත් බව නීතිඥවරයා සඳහන් කරන ලදී.

නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි ජයරත්න මහත්මිය අධිකරණය පැවසුවේ මෙම විත්තිකරුවන්ට නැවත නඩු පැවරීමේ අයිතිය රඳවාගනිමින් එම අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගන්නා ලෙස අල්ලස් කොමිසමෙන් තමන්ට උපදෙස් ලැබී ඇති බවයි.

(LNW)