Friday, March 29, 2024
Follow Us
ඇස්ට්‍රාසෙනෙකා නැත්නම් විකල්පයක්

කොවැක්ස් පහසුකම් යටතේ ලැබීමට තිබූ එන්නත් ඇවිල්ලා නෑ


ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීමට එන්නත් නොලැබුණොත් එන්නත් උපදේශක කමිටුව නිර්දේශ කරනු ලබන විකල්ප ක්‍රමයක් භාවිත කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ පසුගිය 19 වැනි දින මෙරටට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් කොවැක්ස් පහසුකම් යටතේ ලැබීමට නියමිතව තිබුණ ද එය ​නොලැබුණු බවය.

එම එන්නත් ලබාගැනීමේ ක්‍රියාදාමය සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනයෙන් තොර බවත් ඉදිරි සතියේදී බොහෝවිට එම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මෙරටට ලැබෙනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

එසේ ඉදිරියේදීත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත දෙවන මාත්‍රාව නොලැබුණොත් එන්නත් කමිටුවේ නිර්දේශ මත වෙනත් විකල්පයක් අනුගමනය කිරීමට සිදුවන බව හෙතෙම සඳහන් කළේය.

මේ වන විට මෙරට පුද්ගලයන් 9,25,242කු ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර ඉන් 385885කු දෙවන මාත්‍රාව ද ලබාගෙන ඇත.

තවත් පුද්ගලයන් 5,39357කු පමණ මෙහි දෙවන මාත්‍රාව ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටිති.

(Aruna)