Saturday, February 07, 2026
Follow Us
ජී.එම්.ඕ.ඒ මුදල් පරිහරණය ගැන CIDයට පැමිණිල්ලක්

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට සාමාජිකත්ව මුදල් ලෙස වාර්ෂිකව ලැබෙන රුපියල් මිලියන 120ක මුදල් මහ සභාවේ විධිමත් අනුමැතියකින් තොරව සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (26 වැනිදා) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම සංගමයේ මෙවර නිලවරණයේ ලේකම් ධුරයට ඉදිරිපත්ව සිටින වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

සංගමයේ නිලවරණවලදී ප්‍රධාන කාර්යාලයේ සියලු දේපළ අයථා ලෙස භාවිත කරමින්, කූට ලේඛන සකස් කරමින්, හොර ඡන්ද භාවිත කරමින් වත්මන් නිලධාරී මණ්ඩලය වෛද්‍ය වෘත්තියේ ගෞරවය කෙළෙසන ආකාරයෙන් කටයුතු කරන බවට පැමිණිල්ලේ සඳහන් වෙයි. නිලවරණයේද කූට ලේඛන රැසක් ඉදිරිපත් කර ඇති අතර එම ලේඛනද පැමිණිලිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත. මියගිය සහ විශ්‍රාම ගොස් ඇති මෙන්ම සාමාජිකත්වය නොමැති නිලධාරීන්ටද තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කර ඇති බව අනාවරණය වී ඇති බැවින් මේ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස පැමිණිලිකරු ඉල්ලා ඇත.

(Aruna)