Sunday, September 21, 2025
Follow Us
එකවර ආසාදිතයින් 49ක් හමුවූ මිල්ලනිය හුදෙකලා කරන්නැයි ඉල්ලයි

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ නිව්චැටල් වතුයායේ ග්‍රාමසේවා වසම් දෙකකින් කොරෝනා ආසාදිතයන් 49 දෙනකු හමු වීමත් සමග එම ග්‍රාමසේවා වසම් දෙකට අයත් මිල්ලනිය කොටස හුදකලා කිරීම සඳහා අනුමැතිය ඉල්ලා ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක පැවසීය.


645 බී දෙල්දොරවත්ත සහ 652 ඒ බොරලැස්ස ග්‍රාමසේවා වසම් දෙකට අයත් නිව්චැටල් වතුයායේ මිල්ලනිය කොටස තුළ පසුගිය දින කිහිපය තුළ කොරෝනා ආසාදිතන්ගේ ඉහළ යෑමක් සිදුවිය. එනිසා මිල්ලනිය කොටසට අයත් නිවාස 50 ක පදිංචි පුද්ගලයන් 250 ක් අතරින් අහඹු ලෙස තෝරාත් පුද්ගලයන් 123 දෙනකුට පීසීආර් පරීක්ෂණ සිදු කෙරිණි. එයින් 40 දෙනකුට වයිරසය ආසාදනය වී ඇත.

නිව්චැටල් වතුයායේ පදිංචිකරුවන් නිසි සෞඛය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බවත්, අවම වශයෙන් මුඛ ආවරණයවත් නොපැලඳින බව විවිධ ප්‍රදේශවල පුද්ගලයන් මෙම වත්තට පැමිණෙන බවත් මෙහි පදිංචිකරුවන් වෙනත් ප්‍රදේශවල ගමන් බිමන් යාමත් හේතුකොටගෙන මෙම තත්ත්වය උද්ගතව ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය අචලා කිලකරත්නගේ නිර්දේශය කළුතර දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක වෙත දැනුම්දීමට පියවර ගත් බවත්, දිස්ත්‍රික් ලේකම්වරයා එම ඉල්ලීම අදාළ අංශවලට යොමුකර ඇති බවත් කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

(Aruna)