Sunday, September 21, 2025
Follow Us
සෞඛ්‍ය උපදෙස් නොතැකුවොත් යළි සංචරණ සීමා

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරමින් සංචරණ සීමා ලිහිල් කිරීම සිදු කළේ කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක් නොවන නිසා බවත්, ජනතාව ඒ පිළිබඳව ප්‍රවේශමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අරුණට පැවසීය.

පසුගිය 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා ලිහිල් කරමින් සෞඛය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කළේය.

රටේ ආර්ථික තත්ත්වය සහ දෛනිකව ජන ජීවිතය අඩාළ වීම පිළිබඳව සැලකිල්ලට ගනිමින් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ අරමුණින් සංචරණ සීමා ලිහිල් කර මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කළ බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය.

සංචරණ සීමා ලිහිල් වුවද ජනතාව සෑමවිටම සෞඛ්‍ය නීතිරීති පිළිපදිමින් කටයුතු කිරීම වැදගත් බවද හෙතෙම සඳහන් කළේය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නව මාර්ගෝපදේශවලට අනුව මංගල උත්සව උපරිම 150ක සංඛ්‍යාවකට යටත්ව ශාලාවේ ආසන ධාරිතාවයෙන් සියයට 25ක් වන පරිදි පැවැත්විය හැකිය.

පදික වෙළෙඳුන්ට ජංගම වෙළෙඳුන්ට වෙළෙඳාම් කටයුතු කිරීමට සහ බේකරි බේකරි සේවා පවත්වාගෙන යාමට මෙම නව මාර්ගෝපදේශවලට අනුව අවසර දී ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පිහිනුම් තටාක විවෘත කිරීමට අවසර ලබාදී ඇත.

එසේම සිනමාහල් හා රංගන ශාලා ආසන ධාරිතාවෙන් සියයට 50ක් සහ කෞතුකාගාර ශාලා ධාරිතාවෙන් සියයට 50ක් නොඉක්මවන අමුත්තන්ගේ සීමාවට යටත්ව විවෘත කළ හැකිය.

තවද දිවාසුරැකුම් මධ්‍යස්ථාන සියයට 50 ධාරිතාවයෙන් විකල්ප දිනයන් ලබාදී පවත්වාගෙන යාමටත්, පුද්ගලයන් 50 කගේ සහභාගිත්වයෙන් පැය 24 ඇතුළත දේහයේ අවසන් කටයුතු කිරීමේ සීමාවට යටත්ව අවමංගල්‍ය උත්සව පැවැත්වීමට අවසර ලබා දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ ජනතාව නිසි ලෙස සෞඛය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු නොකළහොත් යළි සංචරණ සීමා පැනවීමට සිදුවන බවය.

(Aruna)