Thursday, December 26, 2024
Follow Us
'කාන්තාවන් නැති' ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ: අවසන් මැතිවරණ තුනටම අපේක්ෂිකාවක් නෑ

මේ වසර අවසන් භාගයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල අවධානය යොමු වී තිබේ.

සිය අපේක්ෂකයා කවුරුන් විය හැකි දැයි ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකම විවිධ අදහස් ඉදිරිපත් කරන අතරවාරයේ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ස්වාධීන අපේක්ෂකයන් රැසක් ද මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ.

එහෙත් කිසිදු අපේක්ෂිකාවක සම්බන්ධයෙන් මෙතෙක් අදහස් පළ නොවීම මේ මැතිවරණයේ විශේෂ තත්ත්වයකි. කාන්තාවන් බහුතරයක් වාසය කරන රටක ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් හෝ කාන්තාවක ඉදිරිපත් නොවීමට හේතුව කවරේද?

වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 225 දෙනා අතරින් කාන්තාවන් සිටින්නේ 13 දෙනෙකු පමණි. ඒ අනුව ජනගහනයෙන් 52% ක් කාන්තාවන් වුව ද ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා ප්‍රතිශතය 5.8%ක් පමණි.

ශ්‍රී ලංකා කාන්තා දේශපාලනය : "කාන්තාවන් සඳහාම විය යුතු නැහැ"
කාන්තා නියෝජනය: "පුරුෂ මූලික සමාජය තවත් ශක්තිමත් වීමක්"
කාන්තාවන් දේශපාලනයට පැමිණෙන්නේ පවුල් පසුබිම මත පමණක්ද?
මෙම තත්වයට විසඳුමක් ලෙස පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයේ දී පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ප්‍රමාණය දැඩි ලෙස ඉහළ දමමින් පළාත් පාලන ආයතනවලට කාන්තාවන් 25% පත්කිරීමේ කෝටාවක් ඇති කෙරිණ.

කාන්තාවක ඉදිරිපත් නොවුව ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ගැන 2019 ජනාධිපතිවරණයේ යම් තරමක අවධානයක් පළ වී තිබේ. මෙවර තමන්ට තරග කිරීමට නොහැකි බැවින් ඒ බලය තමන් වෙත ලබාගැනීම පිණිස හිටපු ජනාධිපතිවරයා සිය බිරිඳ ජනාධිපතිවරණයට ඉදිරිපත්කිරීමට පෙළඹෙනු ඇතැයි ඇතැම් විචාරකයෝ පවසති.

 

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණවල අපේක්ෂිකාවෝ

1982 - අපේක්ෂකයන් 5යි. කාන්තාවන් නොමැත
1988 - අපේක්ෂකයන් 3යි.එක් කාන්තා අපේක්ෂිකාවක් (සිරිමාවෝ බණ්ඩාරනායක)
1994 - අපේක්ෂකයන් 6යි, අපේක්ෂිකාවන් 2යි (චන්ද්‍රිකා කුමාරතුංග, ශ්‍රීමනී දිසානායක)
1999 - අපේක්ෂයකයන් 13යි. අපේක්ෂිකාවන් 1 (චන්ද්‍රිකා කුමාරතුංග)
2005 - අපේක්ෂකයන් 13යි. කාන්තාවන් නොමැත
2010 - අපේක්ෂකයන් 22යි, කාන්තාවන් නොමැත
2015 - අපේක්ෂකයන් 19යි, කාන්තාවන් නොමැත

1994දී ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂිකයන් කාන්තාවන්වීමේ සිට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දෙවරක් ජනාධිපතිවී 2005 වසර දක්වා ශ්‍රී ලංකාවේ කාන්තාව දේශපාලන මුල් පුටුවේ සිටිය ද 2005 වසරේ සිට එම තත්ත්වය සම්පුර්ණයෙන්ම වෙනස්වී තිබේ. අවසන් ජනාධිපතිවරණ තුනේදීම කිසිදු අපේක්ෂිකාවක් ජනාධිපතිවරණයට තරග කිරීමට ඉදිරිපත් නොවීම සුවිශේෂී කරුණක් ලෙස හැඳින්විය හැක.

"ඇත්තටම මේක කණගාටුදායක තත්වයක්, වර්තමානයේ දේශපාලනයේ යෙදිල ඉන්න අතලොස්සක් වූ කාන්තාවන් එල්ලවෙන ප්‍රශ්න දැක්කම කිසිම කාන්තාවක් ඉදිරිපත් නොවීම පුදුමයක් නොවේ," සිවිල් ක්‍රියාකාරිනියක් වන වසන්ති සේනාරත්න කියා සිටියාය.

වසන්ති සේනාරත්න, 2015 ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත්කිරීමට මූලිකත්වය ගත් සාධරණ සමාජයක් සඳහාවූ ජනතා ව්‍යාපාරයේ නීයෝජිතවරියකි. මෙවර ජනාධිපතිවරණයටද අපේක්ෂිකාවක් ඉදිරිපත්වන ආකාරයක් දක්නට නොලැබීම ගැන ඇගෙන් විමසු විට ඇය පැවසුවේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වැනි කාන්තාවක මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුය යන්න සිය පුද්ගලික මතය බවයි.

වර්තමාන දේශපාලන සංස්කෘතිය වෙනස් නොවන තත්වයක් තුළ අපේක්ෂිකාවන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීම සිදුනොවුණු ඇතැයි ද ඇය පවසයි.

"මේ දේශපාලනයේ ඉන්න කාන්තාවෝ ටික දෙනාටත් සමාජ මාධ්‍යවල ලිංගිකත්වය මුල්කරගෙන කියන කතා ඇහුවම, අනිත් කාන්තාවන් ඉදිරිපත් වෙයි කියලා හිතන්න පුළුවන්ද ?" වසන්ති සේනාරත්න ප්‍රශ්න කරයි.

52%ක් මේ රටේ ඉන්නේ කාන්තාවන් නම් ඔවුන්ට කාන්තාවන් දේශපාලනයට පත්කරගත නොහැක්කේ ඇයි ? කාන්තාවෝ, කාන්තාවන්ට ජන්දය ලබාදෙන්නේ නැද්ද ? මේ සාමානයෙන් මේ ගැන කතාබහ කරන විට මතුවන ගැටළු කිහිපයකි.

"ඉදිරිපත් වෙන්න එපාය, ජන්දේ දෙන්න කාන්තාවන්ට. අපි කැමතියි කාන්තාවෝ ඉදිරියට එනවට මොකද කාන්තාවෝ හොරකම් සහ මැර වැඩකරන්නේ නැහැ," වෙළෙන්දියක වන මිලානි සිල්වා කියා සිටියාය.

"පිරිමින්ට තියෙන නිදහස අපිට තියෙනවද. අපිට ගෙදර දොර වැඩ, ළමයින් වැඩ තියෙනවා. ඉතින් කොහෙද දේශපාලනය කරන්න වෙලාවක්," කාන්තාවන් දේශපාලනයට ඉදිරිපත් නොවීම ගැන ඇය හේතු කිවේ එලෙසය.

"මෙහෙමයි වැඩකරන කෙනාට තමයි දෙන්නේ. අපිත් චන්ද්‍රිකා නෝනා ජනාධිපතිකරන්න ජන්දේ දැම්මා, හැබැයි කාන්තාවක් ජනාධිපති කළා කියල විශේෂත්වයක් වුණේ නැහැ. ඔක්කොම එකයි. අපි හැමදාම පොළේ බඩු විකුණනවා," තවත් වෙළන්දියක් වන චන්ද්‍රලතා තම අදහස ඉදිරිපත් කරමින් කියා සිටියාය.

විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂිකාවක වන සමන්ති ජයසේකර පැවසුවේ පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්කළ අපේක්ෂිකාවන් බහුතරයක් දේශපාලන පවුල් වලින් පැවත එන්නන් නිසා ඔවුන්ගෙන් යහපත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තු විය නොහැකි බවය.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ කාන්තාවන්ට බයද?
"මේ පාරත් කාන්තාවක් දැම්මොත් එක්කෝ එයා කාගේ හරි දේශපාලකයෙක්ගේ බිරිඳක් නැත්නම් දුවක්, සහෝදරියක්. ඒවගේ අයගෙන් යහපත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද ඔවුන් එන්නේ තම පවුලේ දේශපාලන මතවාදය ඉදිරියට ගෙනියන්න. කාන්තාවන් කාන්තාවන්ට ජන්දේ දෙන්නේ නැත්තේ ඒක තමයි. ඔවුන් දන්නවා මේ ඉදිරපත් කරන කෙනා එන්නේ සුදුසුකම් මත නොවෙයි කියලා," ඇය පවසුවාය.

කෙසේ නමුත් වෙරිටේ පර්යේෂණ ආයතනයේ ක්‍රියාකාරිනියක වන දීපාන්ජලී අබේවර්ධන දේශපාලන පවුල් වලින් කාන්තාවන් ඉදිරිපත්වීම සම්බන්ධයෙන් එල්ල වන විවේචන ගැන අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ පුරුෂයන් ද බහුතරයක් දේශපාලනයට පිවිසෙන්නේ දේශපාලන පවුල් වලින් බවය. එම තත්වය දෙපාර්ශවයට පොදු තත්වයක් බවත් ඇය පෙන්වාදෙයි.

මෙවර ජනාධිපතිවරණයට කාන්තාවන් ඉදිරිපත්වීමට නම් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයදී මෙන් අපේක්ෂිකාවන් ඉලක්ක කරගනිමින් සිදුවූ චරිත ඝාතනයන්, ලිංගිකත්වය මුල් කරගනිමින් සිදුවූ විවේචන සිදු නොවන පරිසරයක් ඇති කළ යුතු බව ද ඇය පැවසීය.

ලියාපදිංචි දේශපාලන පක්ෂ අපේක්ෂිකාවන් ඉදිරිපත් නොකිරීම අවසන් වරට පැවති ජනාධිපතිවරණ තුන සඳහා අපේක්ෂිකාවන් නොමැතිවීමට හේතුවී ඇති බව මේ ගැන බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ හිටපු මැතිවරණ කොමිෂන් ජනරාල් එම් එම් මොහමඩ් කියා සිටියේය.

"ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්න පුළුවන් හිටපු හෝ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට විතරයි. අපේ පාර්ලිමේන්තුවල මන්ත්‍රීවරියන් ඉඳල තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඒ නිසා ස්වාධීනව ඉදිරිපත් වෙන එක වෙන්නෙත් නැහැ," ඔහු කියා සිටියේය.

(BBC)