Monday, May 06, 2024
Follow Us
 දුම්රිය වෘත්තීය සමිති 34 ක් අඛණ්ඩ වර්ජනයකට සූදානම් වෙයි

කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති 34 ක් විසින් ලබන බදාදා (30 වැනිදා) සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ ‘අරුණ’ ට ඊයේ (24) පැවැසීය.

දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ

එමෙන්ම මෙම වර්ජනයට සහාය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම්, වරාය, තැපැල්, ඛණිජ තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති සමගින් සාකච්ඡා සිදුවන බවත් හෙතෙම කීවේය. ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පවතින කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති කාර්යාලය හරහා බරපතළ දූෂණ හා වංචා සිදුව තිබෙන බවත් මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඇතුළු විමර්ශන ආයතන වෙත පැමිණිලි කළත් ඉහළ දේශපාලන බලපැම් හමුවේ ඒ සියලු විමර්ශන යට ගැසී තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.

මෙම කාර්යාලයේ අක්‍රමිකතා ගැන මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීමත්, දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත්කරණය කිරීමේ ව්‍යාපෘතිය විදේශීය සමාගමකට ලබාදීමට උත්සාහ දැරීමත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීමට බලධාරීන් පියවර නොගැනීමත්, දූෂණ වංචා සිදුකර ඇති මෙම ව්‍යාපෘති කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ඉවත් නොකිරීමත් ඇතුළු හේතූන් මත මෙම වර්ජනය ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

දුම්රිය වෘත්තීය සමිති 34 ක් වර්ජනයට සූදානම්
දුම්රිය එන්ජින් රියැදුරු සංගමය, දුම්රිය නියාමක සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති 34 ක් මෙම වර්ජනයට මේ වනවිට සහාය ලබාදී ඇතැයිද හෙතෙම කී​වේය.

(Aruna)