Thursday, April 25, 2024
Follow Us
සංචරණ සීමා ලිහිල් කිරීමෙන් අ​ප්‍රේල් තත්ත්වය ඇතිවේවි

සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පෙරේදා (19 වැනිදා) ලිපියක් යොමු කර තිබේ.

දින කිහිපයකට හෝ සංචරණ සීමා ලිහිල් කිරීමෙන් යළිත් අප්‍රේල් මාසයේ තිබූ තත්ත්වයට කොවිඩ් වසංගතය උත්සන්න විය හැකි බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න එම ලිපියෙන් පෙන්වා දී ඇත.

ඩෙල්ටා ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරෙනවා
ඉතා වේගයෙන් පැතිරෙන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වී ඇති මොහොතක තවදුරටත් සංචරණ සීමා ක්‍රියාත්මක කරන ලෙස ද එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මේ වන විටත් දෛනිකව කොවිඩ් ආසාදිතයන් 2000කට වඩා වාර්තා වෙමින් සහ දිනකට කොවිඩ් මරණ සාමාන්‍යයෙන් 50ක් පමණ වාර්තා වන පසුබිමක් තුළ මෙන්ම, ඉතා වේගයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය මෙරට ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වී ඇති විටෙක මෙවැනි තීරණයක් ගැනීම කිසිසේත් සුදුසු නොවන බවද ජනාධිපතිවරයාට යැවූ ලිපියේ දැක්වේ.

මෙම සංචරණ සීමා ලිහිල් කිරීම යම්කිසි ක්‍රමවේදයකට සිදුවිය යුතු අතර එහිදී ඉතා සුපරික්ෂාකාරී ලෙස දිස්ත්‍රික් මට්ටමින් පවතින සත්‍ය දත්ත මත සිදු කළ යුතු බවත් එය කිසිසේත් රටක් ලෙස එකවර සංචරණ සීමා නිදහස් කිරීම සුදුසු නොවන බවත් එම ලිපිය මගින් පෙන්වා දී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ ඒ හා සම්බන්ධ අන්තර් වෛද්‍ය විද්‍යායතන කමිටුව මේ වන විට සංචරණ සීමා තත්ත්වයෙන් නිදහස් වීමේ ක්‍රමවේදයක් සකස් කරමින් පවතින අතර එය ඉදිරි සතියේ දී රජය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද එම ලිපියේ දැක්වේ.

(Aruna)