Saturday, July 12, 2025
Follow Us
රංගන බංග්ලාදේශ කණ්ඩායම සමග එකතුවන ලකුණු

ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් බංග්ලාදේශ ජාතික ක්‍රිකට් පිලේ ප්‍රධාන දඟ පන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් තෝරා ගැනීමට නියමිත බව සඳහන් වේ.

බංග්ලාදේශයේ හිටපු දඟ පන්දු යැවීමේ පුහුණුකරු නවසීලන්ත ජාතික ඩැනියෙල් විටෝරි වෙනුවට රංගනට අදාළ අවස්ථාව උදා වීමට නියමිතය.

උද්ගත වයිරස තත්ත්වය හමුවේ ඩැනියෙල් විටෝරිට බංග්ලාදේශ කණ්ඩායම සමගින් නොකඩවා රැඳී සිටීමට නොහැකි වීමෙන් අදාළ පුහුණුකාර තනතුර හිස් විය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය සහ එක්දින තරගාවලියට ඔවුන් සහභාගි වුයේ බංග්ලාදේශය දඟ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වූ සොහෙල් ඉස්ලාම් සමගින්ය.

අදාළ දඟ පන්දු යැවීමේ තනතුර සඳහා රංගන හේරත්ට අමතරව ඉන්දියාවේ සයිරාජ් බහතුලේ සහ පාකිස්තානයේ සයිඩ් අජ්මාල් කෙරෙහිද බංග්ලාදේශයේ අවධානය යොමු වී තිබුණි. නමුත් ඒ අතරින් රංගන හේරත්ට වැඩි අවස්ථාවක් පවතින බව බංග්ලාදේශ වාර්තා සඳහන් කරයි.
බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් සභාපති අක්‍රම් ඛාන් අදාළ තනතුරු පුරප්පාඩුව පිළිබඳව පවසා ඇත්තේ ඔවුන් ඉක්මනින් අවසන් තීරණය ගන්නා බවයි. එම තීරණය බංග්ලාදේශයේ සිම්බාබ්වේ තරග සංචාරයට පෙර ගන්නා බවද ඔවුන් කියා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙන 43 හැවිරිදි රංගන හේරත්, බංග්ලාදේශයේ පුරප්පාඩු වූ තනතුර සම්බන්ධයෙන් තමා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමගින් සාකච්ඡා කරමින් සිටින බව කියා තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කට සහභාගි වී තිබෙන රංගන එහිදී බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 433කි. එය සටහන් වන්නේ ලොව වමත් දඟ පන්දු යවන්නෙක් විසින් ටෙස්ට් පිටියේ බිඳ හෙලනු ලැබූ වැඩිම කඩුලු සංඛ්‍යාව ලෙසයි. මීට අමතරව එක්දින තරග 71කට සහ විස්සයි විස්ස තරග 17කට සහභාගි වී තිබෙන රංගන එහිදී පිළිවෙළින් කඩුලු 74ක් සහ 18ක් වශයෙන් බිඳ හෙළා ඇත.

2015 වසරේ එක්දින පිටියෙන් සහ 2016 වසරේ විස්සයි විස්ස පිටියෙන් සමුගත් රංගන හේරත් 2018 වසරේ සැප්තැම්බර් මාසය දක්වා ටෙස්ට් ක්‍රිකට් පිටියේ රැඳී සිටියේය.

(Aruna)