Saturday, July 12, 2025
Follow Us
සුව සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

ඉල්ලීම් 15ක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 20ක් හෙට(03 වැනිදා) පැය හතරක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සූදානම් වෙයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය යාපනය, මඩකලපුව, අනුරාධපුරය, පේරාදෙණිය, කළුබෝවිල, කරාපිටිය ශ්‍රී ලංකා ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල හා රත්නපුර යන රෝහල්වල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඊට අමතරව එදින දහවල් 12 සිට දිවයින පුරා සෑම රෝහලකම නිහඬ විරෝධතාවය පැයක පමණ කාලයක් පවත්වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරයි.

කොවිඩ් මර්දන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ මූලිකත්වයෙන් වෘත්තීය සමිති කමිටුවක් පත්කිරීම, වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා ආරක්ෂිත ඇඳුම් හා මුව ආවරණ සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලබාදීම, රෝහල් උපදේශන කමිටු බලාත්මක කිරීම, ගර්භණී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විශේෂ නිවාඩු ලබාදීම, ප්‍රවාහන පහසුකම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 15ක් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ඇමැති පවිත්‍රා වන්නිආරච්චිට ලබාදී ඇත.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය, ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ සෞඛ්‍ය කළමනාකාර සහකාර නිලධාරීන්ගේ සංගමය, රියැදුරු වෘත්තීය සංගම් ඇතුළු වෘත්තීය සමිති 20ක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වීමට නියමිතය.

(Aruna)