Saturday, July 12, 2025
Follow Us
නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමේදී ජනතාව අපහසුතාවට පත්කළොත් බලාගෙනයි - පොලිස්පති

පවතින සංචරණ සීමා තත්වය තුළ මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයින් සහ වාහන පරීක්ෂා කිරීමේදීත් නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවට පත්වන අන්දමින් කටයුතු නොකරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබේ.

වාහන සහ පුද්ගලයින් පරීක්ෂා කිරීමේදී ඇතැම් පොලිස් නිලධාරීන් මහජනතාව අපහසුතාවට පත්වන අන්දමින් පරිභව කරන ආකාරය මාධ්‍ය ඔස්සේ දැකගැනීමට ලැබෙන බවත් එහිදී එම පුද්ගලයින්ගේ ආත්ම ගෞරවයට කැළලක් ඇතිවී ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවට පත්වන බවත් පොලිස්පතිවරයා සිය චක්‍රලේඛය මගින් පෙන්වා දී ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එවැනි ක්‍රියා අත්හිටුවන ලෙස නියෝග කර ඇති පොලිස්පතිවරයා, එවැනි ක්‍රියා යළි වාර්තා වුවහොත් අදාළ පොලිස් නිලධාරීන්ට මෙන්ම ස්ථාන භාර නිලධාරීන්ට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කර තිබේ.

(LNW)