Saturday, July 12, 2025
Follow Us
ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමෙන් වන්දි ලබාගැනීමේ කටයුතු අරඹයි

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමෙන් වන්දි ලබාගැනීමේ කටයුතු මේවනවිටත් ආරම්භ කර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර නෙත් නිවුස් වෙත කියා සිටියේ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් කපිතාන්වරයාගෙන් ද වන්දි ලබාගැනීමට හැකි බවයි.

ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නිව් ඩයමන්ඩ් නෞකාව නැගෙනහිර වෙරළට ආසන්න මුහුදු සීමාවේදී අනතුරට ලක්වුණා.

එහිදී ඉන්ධන කාන්දුවෙන් සිදුවූ සමුද්‍රීය පරිසර හානිය වෙනුවෙන් රුපියල් බිලියන 3 යි දශම 4 යි 3 යි 2 ක වන්දි මුදලක් අයකර ගැනීමටයි නීතිපතිවරයා අදාළ ලේඛණ ඉදිරිපත් කර තිබුණේ.

මේ දක්වා එම නෞකාවෙන් සිදුවූ අනතුරෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 452 ක මුදලක් ලබාදී තිබෙනවා. කපිතාන්වරයාගෙන් පමණක් අයකර ගෙන ඇති දඩ මුදල රුපියල් මිලියන 12 ක්.

වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නෙත් නිවුස් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ද විමසීමක් කළා. එහි සභාපති ජෙනරාල් දයා රත්නායක පැවසුවේ නඩු පැවරීමේ ක්‍රියාවලියට පෙර දැන් ප්‍රමුඛ අවදානය ලබාදී ඇත්තේ නෞකාවෙන් සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට බවයි.

ජෙනරාල් දයා රත්නායක පැවසුවේ අදියර කිහිපයක් යටතේ නඩු පැවරීමේ ක්‍රියාවලිය සිදුවනු ඇති බවයි.

නෞකාවෙන් සිදුවූ හානිය හා නෞකාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් විදෙස් විශේෂඥයින් ද සහභාගී කර ගනිමින් විශේෂ පරීක්ෂණ කිහිපයක් මේවනවිටත් ක්‍රියාත්මකයි.

(Neth)