Wednesday, July 09, 2025
Follow Us
සහන මල්ල මෙතෙක් නොලැබූ බවට ජනතාවගෙන් චෝදනා

රජය විසින් ලබාදෙන රුපියල් 5,000 ක් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ල තමන්ට ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත් කර නොමැති බව ඊට හිමිකම් ලැබූ ජනතාව චෝදනා කරනවා. හුදකලා කර ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන්ට සහ නිරෝධායන සදහා යොමු කර ඇති පවුල්වලට එම සහන මල්ල ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ.

මෙම සහන මල්ල බෙදාහැරීමේ කටයුතු ඒ ඒ ප්‍රදේශයන්ට අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි නිලධාරීන් හරහා සිදුකිරීමට නියමිතයි. කෙසේවෙතත් එම භාණ්ඩ මල්ල තමන්ට මෙතෙක් නොලැබුණු බවට එම ජනතාව චෝදනා කරනවා. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් විමසීමක් කළා.

අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් රුපියල් 5,000 ක වටිනාකමින් යුත් මෙම භාණ්ඩ සහන මල්ල ලබන සතියේ ග්‍රාම නිලධාරීන් හරහා අදාළ පුද්ගලයන්ට ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ

(Neth)