Wednesday, July 09, 2025
Follow Us
ප්‍රධාන ගංගා ගංවතුර අවදානමක - ප්‍රදේශ රැසක ආපදා

පවතින අධික වැසි සමග සිදුවූ ආපදාවලින් පුද්ගල මරණ 02 ක් අද වාර්තා වුණා

කෑගල්ල, වරකාපොළ ගස්වාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ පස් කන්දක් කඩා වැටීමෙන්. එහිදී කාන්තාවක් ද පස් කන්දට යටවී ඇති අතර යුද්ධ හමුදාවේ මැදිහත්වීමෙන් ඇයගේ දිවි බේරාගෙන රෝහල්ගත කර තිබෙනවා.

මෙම කාන්තාව මියගිය පුද්ගලයාගේ මව බවටයි අනාවරණ වී ඇත්තේ.

ගිං ගගේ ගසාගෙන යාමෙන් 32 හැවිරිදි අයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව අද වාර්තා වුණා. රුවන්වැල්ල, මායින්නොළුව ප්‍රදේශයේදී කුඩා ඔය පිටාර ගැලීම හේතුවෙන් කොටුවී සිටි කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු අද උදෑසන බේරා ගැනුණා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ ප්‍රදේශ රැසක අතුරු මාර්ග ද ජලයෙන් යටවී ඇති බවයි.

කෙසේවෙතත්, වර්ෂා තත්ත්වයේ අඩුවීමක් ඇතත්, ගංගා ජල මට්ටම ඉහළ යමින් ඇති බවයි ඔහු කියා සිටියේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කැලණි ගඟ, කළුගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, මහවැලි ගඟ මෙන්ම මහ ඔය හා අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි.

ජලාශවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මෙලෙස අදහස් පළ කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ තවදුරටත් වැසි අපේක්ෂා කරන බවයි.

(Neth)