Tuesday, July 08, 2025
Follow Us
ආසාදිත ගැබිනියන්ට වෙනම වාට්ටු

කොවිඩ් වැලඳුණු ගැබිනි මව්වරුන් සඳහා මහ රෝහල්, ශික්ෂණ රෝහල් හා මූලික රෝහල් ආශ්‍රිතව වෙනම වාට්ටු සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (10 වැනිදා) තීරණය කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන හා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ විද්‍යායතනය අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ. වෙනම වාට්ටු සකස් කිරීම සඳහා රෝහල් අධ්‍යක්ෂවරුන්ට විශේෂ චක්‍රලේඛයක් අද (11 වැනිදා) නිකුත් කිරීමට නියමිතය.

ගැබිනි කාන්තාවන් සඳහා කඩිනමින් එන්නත් ලබා දීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර එන්නත් ලබාදීම සුදුසු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ විද්‍යායතනය දැනුම් දී තිබේ. කොවිඩ් වැලඳුණු ගැබිනි කාන්තාවන් 200 ක් පමණ සිටින බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ බව එම විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප්ද සිල්වා පැවසුවේය.

(Aruna)