Tuesday, July 08, 2025
Follow Us
පොසිටිව් වුණොත් කලබල වෙන්න එපා, ගෙදර ඉන්න. හැකි ඉක්මනින් රෝහල්ගත කරනවා - වෛද්‍ය සුදත්

PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වුවහොත් කලබල නොවී, බිය නොවී, නිවසේම රැඳී සිටින ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ඉල්ලා සිටින අතර හැකි ඉක්මනින් රෝගීන් රෝහල්ගත කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් ඒ මහතා පවසයි.

"දවසකට එකපාරම 1500 - 1900 අතර ප්‍රමාණයක් වාර්තා වුණහම ඔවුන්ව වහාම රෝහල්කරා ගෙනයාමේදී යම්කිසි විදියකින් කාලයක් ගතවෙනවා, මොකද මේක ඇවිල්ලා එක ක්ෂණික කාරණයක් නෙවෙයි. ඊටපස්සෙ ගැහැණු සහ පිරිමි වශයෙන් ඔවුන් නැවත වතාවක් බෙදෙනවා මොන රෝහලකටද ඔවුන් ඇතුළත් කළයුත්තෙ කියලා. ඊළඟට ඔවුන්ව ගෙනයෑම සඳහා අපි නිවසෙන් ගන්න ඕනෙ. අපි නිවසෙන් අරගෙන ඔවුන්ව රෝහල දක්වා ප්‍රවාහනය කරන්න ඕනෙ. මේක ඇවිල්ලා විශාල ක්‍රියාන්විතයක්. ඒ ක්‍රියාදාමයේදී මේ විශාල ප්‍රමාණයක් මේ විදියට ප්‍රවාහනය කරන නිසා යම්කිසි ස්ථානවලදී යම්කිසි විදියක ප්‍රමාදයක් සිද්ධ වෙන්න පුළුවන්.

ඒවගේ අවස්ථාවලදී අපි කියන්නෙ කලබල වෙන්න එපා, බයවෙන්න එපා, ගෙදර ඉන්න. ගෙදර ඉඳගෙන නිසි පරිදි පවුලේ අනිත් අයගෙන් වෙන්වෙලා හැකිතාක් දුරට තනියම ඉන්න. තමුන් හැකිනම් වැසිකිලියක් නානකාමරයක් වෙනම පාවිච්චි කරන්න. ඒවගේම හොඳට ජලය බොන්න. පුළුවන් ඉක්මනටම ඔවුන්ව රෝහල්කරා ඇතුළුකිරීම අපි මේ අවස්ථාවේදී සිදුකරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)