Monday, July 07, 2025
Follow Us
ICU හෙද කාර්ය මණ්ඩලයට තුන් ගුණයක් වැඩකරන්න වෙලා. දැන් මේක පුපුරායන මට්ටමට ඇවිත් - පුෂ්පා

දැඩි සත්කාර ඒකක පුහුණුව ලැබූ හෙද කාර්ය මණ්ඩල හිඟවීම නිසා දැනට එම සේවයෙහි නියුතු හෙද හෙදියන්ට තුන් ගුණයක් වැඩකිරීමට සිදුව ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

"අපි කල් ඇතුව කියලා තිබ්බා මේවා, අවුරුදු කන්න ඉස්සෙල්ලා මේ හැම නර්ස් කෙනෙකුටම මේ පුහුණුව දෙන්න කියලා. දැන් මොකද්ද කරන්නෙ ? පුහුණුව දීගන්න බෑ, හය මාසෙක පුහුණුවක් දෙන්න ඕනෙ. ඒනිසා අද ඉන්නවා ගෙවල්වල විශ්‍රාම ගිය, වැඩකරන්න පුළුවන්, මේ පුහුණුව තියෙන විශාල පිරිසක් අද ගෙවල්වල ඉන්නවා. මේක ගෙන්වන්නෙ නැතුව මොකද කළේ දැන් මේ ස්ථාන මාරුවීම් ටික දුන්නා, ඒක කල්දැම්මා මේ කොරෝනා දැඩි සත්කාර ඒකක නර්සස්ලා නෑ කියලා. බළලා මැටියෙන් හරි කමක් නෑ මීයො අල්ලනවා නම් ඔවුන්ට ඒකයි ඕනෙකම තියෙන්නෙ. දැන් මොකද කරන්න හදන්නෙ ? දැන් ඔය හෙද විදුහල් ටික ගන්න හදනවා නවාතැන් දෙන්න ඕනෙ කියලා. නවාතැන් දුන්නාම හෙදියො පුහුණු කරන්නෙ කොහෙද ඊළඟට ? මේ එකක්වත් දුර බලන්නෙ නෑ. මෙන්න මේ වගේ අවිධිමත් අවිචාර දුර නොපෙනෙන අදූරදර්ශී ක්‍රියාදාමයක් තමයි අද මේ සෞ‍ඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන්නෙ. අවබෝධයක් නෑ. ඒනිසා අපි දැන්වත් කියනවා සෞඛ්‍ය ඇමතිතුමියට පොඩ්ඩක් දුර බලන්න" යනුවෙනුයි තත්වය පැහැදිලි කරමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසුවේ.

හෙද කාර්ය මණ්ඩල මුහුණ පා සිටින ගැටළුවේ වත්මන් තත්වය පැහැදිලි කරමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සංවිධායක ( කොළඹ මහ රෝහල ) පුෂ්පා රම්‍යාණි ද සොයිසා මහත්මිය පැවසුවේ "අවම කාර්ය මණ්ඩලයක් නිසා අපේ හෙදියන්ට තුන් ගුණයක් වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක හරිම අසාධාරණයි. මේ ඉල්ලීම සංගමයක් හැටියට දිගින් දිගටම අපි සටන් කරලා ඉල්ලුවා, නමුත් ඒක පිළිබඳව නිසි උත්තරයක් අපට තාම ලැබිලා නැහැ. නමුත් ඒක දැන් පුපුරායන තත්වයකට ඇවිල්ලා තියෙනවා" යනුවෙනි.

ඔවුන් මේ බව පැවසුවේ ඊයේ (03) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)