කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී තිබියදී පැහැදිලිවම පිළිකා, හෘදරෝග වැනි වෙනත් රෝගී තත්වයන් නිසා මියයන පුද්ගලයින්ගේ මරණ කොවිඩ් මරණ සංඛ්‍යාවට ඇතුළත් නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
"යම්කිසි පුද්ගලයෙක් කොවිඩ් ආසාදනය තියෙනකොට පැහැදිලිවම වෙනත් රෝගයක් නිසා මියයනවා නම් ඒ තත්වය අපි වාර්තා කරන්නෙ නෑ. උදාහරණයක් විදියට ඊයේ දවස තුළ අපට වාර්තා වුණා තවත් මරණ දෙකක්, එයින් එකක් ලියුකේමියා නිසා මියගිය කොවිඩ් ආසාදිතයෙක්. එතනදි ඒ කොවිඩ් රෝගය ඒ ලියුකේමියා රෝගය උත්සන්න වීමට හෝ ඒ මරණයට හේතුවක් වෙලා නෑ. ඒවගේම හෘදය දුර්වල වීම නිසාත් තවත් රෝගියෙක් මියගියා. කලින් හෘදරෝගයක් තිබිච්ච රෝගියෙක්. ඒ රෝගියාගෙත් රෝගය උත්සන්න වීමට කොවිඩ් රෝගයෙන් බලපෑමක් තිබී නැහැ. ඒ තත්වයේදී ඒවගේ මරණ අපි කොවිඩ් මරණ විදියට වාර්තා කරන්නේ නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන පිළිගත නොහැකි බවටත් ඔවුන් දත්ත සඟවන බවටත් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළින්ම කලක සිටම දැඩි චෝදනා එල්ල වෙමින් පවතී.
(LNW)