Friday, April 26, 2024
Follow Us
ලිපියක් නිසා යාපනය නල්ලුර් කෝවිලේ ආරක්ෂාව තර කෙරේ

යාපනය ‍නල්ලූර් කෝවිලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් කෝවිල අවට ප්‍රදේශය වෙත දැඩි ආරක්ෂාවක් යෙදවූ බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදාගෙන කෝවිල අවට ආරක්ෂාව තරකර විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බව ආරක්ෂක අංශ සදහන් කර සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් සිදුකළ විමසීමකදී ආණ්ඩුකාර කාර්යාල නිළධාරීන් පැවසූවේ නල්ලූර් කෝවිල වෙත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට ආණ්ඩුකාරවරයා වෙත නිර්නාමික ලිපියක් ලැබී ඇති අතර, එබැවින් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කොට කෝවිල ප්‍රදේශයේ ආරක්ෂාව තරකොට ඇති බවයි.

යාපනය නල්ලූර් කෝවිලේ පූජාවන් වෙනුවෙන් සිකුරාදා දිනයේ විශාල පිරිසක් පැමිණෙන බැවින් අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කොට ඇති අතර ආරක්ෂක හේතුන් මත යාපනය පේදුරුතුඩුව මාර්ගය කෝවිල සීමාවෙන් වසා දමා ඇති බවද ආරක්ෂක අංශ සදහන් කර සිටියි.

(Neth)