Saturday, April 20, 2024
Follow Us
මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ

මෙතෙක් මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (21) දිනයේදී සටහන් විය. ඒ, ආසාදිතයින් 887ක් වශයෙනි. මීට පෙර මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූයේ 878කි. එය වාර්තා වූයේ 2020 දෙසැම්බර් 02 වෙනිදාය.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් 887 දෙනා අතරින් 866 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරෙන් ද ආසාදිතයින් 7කුත් විදෙස් රටවලින් පැමිණි අය අතරින් 14 දෙනෙකුත් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

විදෙස් රටවලින් පැමිණි අය අතරින් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කටාර් රාජ්‍යයේ සිට පැමිණි 8 දෙනෙක්, කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 3 දෙනෙක්, රුසියාවේ සිට පැමිණි අයෙක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙක් සහ යුක්‍රේනයේ සිට පැමිණි අයෙක් වශයෙනි.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාවත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 56076ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(LNW)