Thursday, May 16, 2024
Follow Us
කොච්චිකඩේ බෝම්බකරුගේ බිරිඳ සිය කුළුදුල් දරුවාට උපත දෙයි

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 09 අතරින් කෙනෙකි 22 හැවිරිදි නීතිවේදී අලවුදීන් අහමෙඩ් මුවාත්. කොච්චිකඩේ ශාන්ත ඇන්තනී දේවස්ථානයට මරාගෙන මැරෙන රැගෙන ආ තැනැත්තා මොහුය.

එම ප්‍රහාරයෙන් සති දෙකකට පසු ඔහුගේ බිරිඳ සිය කුළුදුල් දරුවාට උපත දී තිබේ.

කොළඹ නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය ඇති ඔහු එම පවුලේ අතරින් සිව්වැන්නා වන බවයි ඔහුගේ පියා වන 59 හැවිරිදි අහමඩ් ලෙබ්බේ අලවුදීන් නැමැත්තා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය අඟහරුවාදා සාක්ෂි දෙමින් කියා තිබුණේ.

මුවාත් විවාහ වී මේ වන විට මාස 14ක් වන පසුගිය 05 බිරිඳ ප්‍රථම දරු ප්‍රසූතිය කළ බවද ඔහු කියා තිබේ.

තමන් සිය පුත්‍රයාව අවසන් වරට දුටුවේ පසුගිය අප්‍රේල් 14 වැනි දින වන අතර ඒ අප්‍රේල් 13 වැනිදා උපත ලැබූ ඔහුගේ වැඩිමහල් සහෝදරියගේ දරුවා බැලීමට ගිය අවස්ථාවේදී බවයි.

ප්‍රහාරය සිදු වූ දින මුවාත්ගේ බිරිඳ සිය සැමියා පිළිබඳ සොයා ඇති අතර ඔහුගේ වැඩිමහල් සහෝදරයාගෙන් විමසා ඇත්තේ මුවාත් සිය මව් පියන්ගේ නිවසට ගොස් ඇති නමුත් නැවත නොපැමිණි හෙයින් ඔහු පිළිබඳ සොයන බවයි.

කෙසේවෙතත් මුවාත්ගේ පියා විසින් හිස කොටසින් මුවාත්ව හඳුනාගෙන තිබුණි. එමෙන්ම සිය පුත්‍රයාගේ වියදම් සඳහා සෑම මසකම රු.30,000 බැගින් යැවීමටද ඔහු කටයුතු කර ඇති බව අධිකරණයට දන්වා ඇත.

මේ අතර මුවාත්ගේ බිරිඳගේ සහෝදරයා විසින් මුවාත් ලියා තැබූ සටහනක් පිළිබඳ ප්‍රකාශයක් කර ඇත. "කරුණාකර නැවත මා ගැන සොයන්නට එපා. මම නැවත පැමිණෙන එකක් නැහැ. මාගේ මව්පියන් බලාගන්න සහ මා වෙනුවෙන් යාඥා කරන්න"

එම සටහන සොයාගෙන තිබුණේද මුවාත්ගේ මරණයෙන් පසුය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින මෙම බෝම්බකරුගේ සහෝදරයන් දෙදෙනෙකුට තවදුරටත් රඳවා තබා ගැනීම සඳහා අධිකරණ නියෝගයක්ද ලබා දී තිබේ.

කෙසේවෙතත් අවසානයේ එම පාස්කු ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් භාරගත් නමුත් රජය දිගින් දිගටම චෝදනා කළේ රට තුළ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් වන ජාතික තවුහිද් ජමාත් සංවිධානයටය.

(LNW)