Thursday, May 16, 2024
Follow Us
දැන් පවතින්නේ සේවා දිගු සඳහා යුද්ධයකි !!

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් සති තුනක් ඉක්මයන දිනයේ පවා දිවයින පුරා බලපවත්වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට සිදුවිය. මෙයින් පැහැදිලි වන්නේ රටේ ආරක්ෂක තත්වය තවමත් ස්ථාවර කිරීමට බලධාරීන්ට නොහැකි වී ඇති ප්‍රමාණයේ බැරෑරුම් තත්වයයි.

සිදුවිය යුතු ලෙසම ජනාධිපතිවරයාට, ආණ්ඩුවට බරපතළ වශයෙන් සහ පොදුවේ සියලුම දේශපාලන නායකයින්ටත් මේ අස්ථාවරභාවය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතී. මෙම තත්වය තුළින් වාසි ලබාගැනීමට උත්සාහ දරන සියලුම දේශපාලනඥයින්ට ජනතා විරෝධය එල්ල විය යුතුමය. මේ අතරම විරෝධය එල්ල විය යුතු තවත් පිරිසක් ද නිහඬවම තම තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් වෙනම සටනක් ගෙන යන අතර එය බොහෝ අයට පෙනෙන්නේ ද නැත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න, යුධ හමුදාපති මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති කපිල ජයම්පති සහ නාවික හමුදාපති පියල් ද සිල්වා යන ඉහළම ආරක්ෂක නිලධාරීන් සිව් දෙනාම මේ වනවිට සිටින්නේ සේවා දීර්ඝ කිරීම් බලාපොරොත්තුවෙනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔවුන්ට සේවා දිගු ලබා නොදෙන්නේ නම් ඔවුන්ට විශ්‍රාම යාමට සිදුවනු ඇත.

එබැවින් ඉදිරි මාසය ඔවුන්ට ඉතාම තීරණාත්මකය. මේ පවතින අර්බුදකාරී ආරක්ෂක වාතාවරණය දිගටම පවතින්නේ නම් තනතුරු මාරුවකට ජනාධිපතිවරයා නොයනු ඇති අතර මේ සිව් දෙනාටම තවත් වසරක් සඳහා සේවා දිගු හිමිවනු ඇත.

ඒ අනුව තත්වය මැඬපැවැත්වීම සඳහා උපරිම ක්‍රියාකාරී වෙනවා වෙනුවට තනතුරු රැකගැනීම සඳහා උපරිමයෙන් ක්‍රියාත්මක වන ආකාරයක් මේ හතර දෙනා අතර පැහැදිලිවම දක්නට ලැබේ. මෙය කොතෙක් නින්දිත තත්වයට පහළ වැටී ඇත්දැයි කිවහොත් ජනාධිපතිවරයාගේ සිත දිනාගැනීම සඳහා ඇතැම් හමුදාපතිවරුන් දේවාල ගාණේ ගොස් තවත් අයට හදි හූනියම් කරන බවත් වාර්තා විය.

අන්තර්ජාල යුගයේ ලොව පුරා ව්‍යාප්ත වන ගෝලීය ත්‍රස්තවාදයකට මුහුණ දීමට යන්නේ දේවාල ගාණේ ගොස් හූනියම් කරනා හමුදාපතිවරුන් පිරිසක් සමඟද යන ප්‍රශ්නයත් මෙහිදී මතුවේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට තම තනතුර රැකගැනීමේ වුවමනාව සියල්ලන්ටම ඉහළින් පිහිටා ඇත්තේ ඔහුට මේ වනවිටත් කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ ප්‍රධාන සැකකරුවකුට රැකවරණ ලබාදීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා එල්ලවී ඇති නිසාය. එම නඩුවේම සාක්ෂිකරුවකුට පහරදී මරණීය තර්ජන කිරීම සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව නඩුවක් පවතී.

එමෙන්ම රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට තනතුර දමා ගෙදර යා නොහැකි ගෙවල් ප්‍රශ්නයකුත් තිබේ. තමන්ගෙන් පසු පැමිණි නාවික හමුදාපතිවරුන් තිදෙනෙකුටම අවස්ථාව නොදී ඔහු තවමත් බලහත්කාරයෙන් රැඳී සිටින්නේ නාවික හමුදාපති තනතුරට අයත් නිල නිවසේය. බහිරවයකු මෙන් එම නිල නිවසට අරක්ගෙන සිටින ඔහුට නිවස දමා යන්නට බැරිකමක් ද ඇත.

මේ සියල්ලන් දෙස බලන විට හිටපු නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ මහතාව ගෞරවයෙන් සිහිපත් කළ යුතුව ඇත. තමන්ගේ අනුප්‍රාප්තිකයාට අවස්ථාව ලබාදෙමින් සේවා දිගු නොඉල්ලා නම්බුකාර ලෙස ඔහු විශ්‍රාම ගියේය. එසේ කළ එකම මිනිසා වශයෙන් ඔහු ත්‍රිවිධ හමුදාවටම ආදර්ශයකි.

රටේ පවතින ව්‍යාකූල ආරක්ෂක තත්වය තුළ හමුදාවේ සේවය ජනතාව අතර ගෞරවයට ප්‍රාප්ත වී ඇත. ජනතාවට දැනෙන අනාරක්ෂිත තත්වයේ ප්‍රමාණය අනුව එය යම් අධිනිශ්චය වීමක් තරමටම දුර ගොස් තිබේ. එයින් ඵල නෙළන්නට සැරසෙන්නේ වෙනම පිරිසකි.

රටක හැටිය !

(LNW)