Saturday, November 28, 2026
Follow Us
රඹෑව කෝණකුඹුක්වැව විද්‍යාලයේ ස්ථාපිත කළ නව ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෝණකුඹුක්වැව මහා විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ඊයේ (27) ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමත් සමඟ උතුරු මැද නාවික විධානය තුළ නාවික හමුදාවේ දායකත්වයෙන් ස්ථාපිත කර ඇති ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන සංඛ්‍යාව 491ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වන විට දිවයින පුරා ජනතා අයිතියට පත් කර ඇති සමස්ත ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන සංඛ්‍යාව 1,167කි.

කෝණකුඹුක්වැව විද්‍යාලයේ සිසු දරුවන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ට දෛනික පානීය ජල අවශ්‍යතා සඳහා ප්‍රදේශයේ ජල මූලාශ්‍ර මත යැපීමට සිදුව තිබිණි. වකුගඩු ආශ්‍රිත රෝග වාර්තා වන මෙම ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ ගැටලුවට විසඳුමක් ලෙස මෙම මධ්‍යස්ථානය ස්ථාපනය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ 'Sunshine Foundation for Good' සංවිධානයේ මූල්‍ය අනුග්‍රහයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව, මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින් කෝණකුඹුක්වැව විද්‍යාලයේ සිසු දරුවන්ට සහ අවට ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.