Friday, November 27, 2026
Follow Us
“ගුණාත්මක මානසික සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීම සමස්ත සෞඛ්‍ය පද්ධතියේ සාමූහික වගකීමක් - සෞඛ්‍ය ඇමැති
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සායනික සංගමයේ සමාරම්භක ශාස්ත්‍රීය සැසිවාරය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්
-නව හදිසි ප්‍රතිකාර ඒකකයත් රෝගී ප්‍රතිකාර සේවාවට එක් කෙරේ.

 

.
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සායනික සංගමයේ සමාරම්භක ශාස්ත්‍රීය සැසිවාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(26) පෙරවරුවේ එම විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සමගාමීව විද්‍යායතනයේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද හදිසි ප්‍රතිකාර ඒකකය ද රෝගී ප්‍රතිකාර සේවාවට එක් කෙරිණි.
 
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, මානසික සෞඛ්‍යය යනු සමස්ත සෞඛ්‍යයේ සහ මානව යහපැවැත්මේ අත්‍යවශ්‍ය අංගයක් වන බැවින්, එය ප්‍රවර්ධනය කිරීමත්, ගුණාත්මක මානසික සෞඛ්‍ය සේවාවන් වෙත සියලු දෙනාට ප්‍රවේශ වීමේ අවස්ථාව තහවුරු කිරීමත් සෞඛ්‍ය පද්ධතියේ සාමූහික වගකීමක් බව අවධාරණය කර සිටියේය.
ශ්‍රී ලංකාවේ විශේෂිත මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සේවා සැපයීමේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය රෝගී සත්කාරයට පමණක් සීමා නොවී, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ පුහුණුව, අධ්‍යාපනය සහ පුනරුත්ථාපන සේවා වෙනුවෙන් ද සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
සායනික දැනුම හා වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම, පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සහ විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ ප්‍රතිකාර ක්‍රමවේද ශක්තිමත් කිරීම සඳහා සායනික සංගම්වල දායකත්වය අතිශය වැදගත් බව ද සඳහන් කළ අමාත්‍යවරයා, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් නිරන්තරයෙන් නව දැනුමෙන් යාවත්කාලීන වීමත්, ශාස්ත්‍රීය සංවාද හා අත්දැකීම් හුවමාරුව තුළින් සිය වෘත්තීය දැනුම පුළුල් කර ගැනීමත් කාලීන අවශ්‍යතාවක් බව අවධාරණය කළේය.
 
මානසික සෞඛ්‍ය සේවාවන්හි ඉදිරි ප්‍රගමනය උදෙසා නවෝත්පාදනශීලී, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ සහ බහුවිධ වෘත්තීය දායකත්වය ඒකාබද්ධ කරගත් ප්‍රවේශයන් අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, මනෝවිද්‍යාඥයන්, සමාජ සේවා වෘත්තිකයන්, වෘත්තීය චිකිත්සකයන් ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සාමූහික මැදිහත්වීම තුළින් රෝගියාගේ ගෞරවය හා අයිතිවාසිකම් සුරක්ෂිත වන මානුෂීය, ආචාරධර්මීය සහ රෝගියා කේන්ද්‍ර කරගත් ප්‍රතිකාර සේවාවක් තහවුරු කළ යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
සායනික සංගමයේ සමාරම්භක ශාස්ත්‍රීය සැසිවාරය යටතේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සමකාලීන විෂය පථයන් රැසක් පිළිබඳව දැනුම හා වෘත්තීය අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසිණි. ඒ යටතේ මානසික සෞඛ්‍යය, ස්නායු සංජානන පුනරුත්ථාපනය, ජීවන රටා වෛද්‍ය විද්‍යාව, ළමා හා යොවුන් මානසික සෞඛ්‍යය මෙන්ම ඩිජිටල් තාක්ෂණය සහ මානසික සෞඛ්‍ය සේවාවන්හි අනාගත දිශානතිය පිළිබඳව ද අවධානය යොමු විය.
 
මීට අමතරව, තරබාරුකම කළමනාකරණය කිරීම සඳහා වන විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ ප්‍රවේශයන් පිළිබඳ විශේෂ දේශනයක් විශේෂඥ වෛද්‍ය අනූෂ්කා වික්‍රමරත්න මහත්මිය විසින් පවත්වන ලද අතර, මානසික සෞඛ්‍යය හා කලාව අතර පවතින සම්බන්ධතාව පිළිබඳ සැසියක් ද පැවැත්විණි. විවිධ වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය කරන විද්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවැති පැනල් සාකච්ඡාවකදී අදාළ ක්ෂේත්‍රයන්හි දැනුම, වෘත්තීය අත්දැකීම් සහ අදහස් හුවමාරු කර ගැනීම ද සිදු විය.
 
1926 වසරේ ආරම්භ කරන ලද අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සියවසක සේවා ඉතිහාසයක් සනිටුහන් කරයි. එහි වෘත්තීය හා ශාස්ත්‍රීය කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් 2026 වසරේදී සායනික සංගමය ස්ථාපිත කර තිබේ. විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 140කට ආසන්න පිරිසකගෙන් සමන්විත මෙම සංගමයේ ප්‍රධාන අරමුණ වන්නේ සෞඛ්‍ය වෘත්තිකයන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම, සායනික දැනුම පුළුල් කිරීම සහ වෘත්තීය නිපුණතා ඉහළ නැංවීමයි.
මෙම අවස්ථාවට සමගාමීව අමාත්‍යවරයා ජාතික මානසික සෞඛ්‍ය උපදේශන සේවා අංශය (1926), දුරස්ථ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය සහ වෘත්තීය චිකිත්සක ඒකකය ද නිරීක්ෂණය කළේය. එහිදී උපදේශන සේවා කාර්යක්ෂමව සැපයීම, දුරස්ථ ප්‍රතිකාර ක්‍රමවේද පුළුල් කිරීම මෙන්ම රෝගීන්ගේ දෛනික ජීවන කුසලතා, ස්වාධීනත්වය සහ සමාජීය අනුවර්තනය වර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව ද අවධානය යොමු කළේය.
විද්‍යායතනය සතු මානව හා භෞතික සම්පත් උපරිම ඵලදායීතාවයකින් යුතුව ප්‍රයෝජනයට ගනිමින් රෝගීන්ට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සැපයීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාවට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දම්මික අලහප්පෙරුම, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂිකා වන්නිආරච්චි, සායනික සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය සමන් වීරවර්ධන සහ එහි ලේකම් වෛද්‍ය උපේකා කරියවසම් යන මහත්ම මහත්මීන් ඇතුළු හිටපු අධ්‍යක්ෂවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තීන් නියෝජනය කරන පිරිසක් ද එක්ව සිටියහ.